ශ්‍රී ලංකාව සාගර කේන්ද්‍රස්ථානයක් බවට පත්කරනවා…! – මහින්ද…

December 7, 2021 at 10:29 pm | by emanisa.lk

ශ්‍රී ලංකාව කලාපයේ ගෝලීය සමුද්‍රීය තිරසර කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට රජය කැප වී සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (07) දින පැවසීය.

the economist කණ්ඩායම විසින් සංවිධානය කළ ආසියා පැසිෆික් කලාපීය ලෝක සාගර සමුළුවේ ප්‍රධාන දේශනය වීඩියෝ තාක්ෂණය ඔස්සේ පවත්වමින් අග්‍රාමාත්‍යතුමා මේ බව අවධාරණය කළේය.

“ඉන්දියන් සාගරයෙන් වට වූ දූපත් රාජ්‍යයක් ලෙස සාගරයට මෙන්ම එහි වැසියන්ට ගෞරව කිරීමටත් ඉන්දියන් සාගරය ආරක්ෂා කිරීමටත් විශාල වගකීමක් ශ්‍රී ලංකාවට පැවරී ඇතැයි” අග්‍රාමාත්‍යතුමා මෙහි දී පැවසීය.
දෙසැම්බර් 06 සිට 10 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමයට පැවැත්වෙන මෙම සමුළුවට ලොව පුරා දෙදහසකට අධික පිරිසක් එක්වන අතර කථිකයන් 100 දෙනෙක් දෙසුම් පවත්වති.

මෙවර සාකච්ඡාවේ ප්‍රධාන තේමාවක් වී ඇත්තේ නීල-මූල්‍ය යාන්ත්‍රණයන් සහ ප්‍රධාන ධාරාවේ මූල්‍ය මගින් තිරසර නිල් ආර්ථිකයකට වඩා හොඳින් සහාය විය හැකි ආකාරය විමසා බැලීමයි.

“පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා සැලකිය යුතු මූල්‍ය හා මානව සම්පත් අවශ්‍ය වන බැවින්, සාගර සුවතාව වැඩිදියුණු කිරීමට සහ සමුද්‍ර ජෛව විවිධත්වය ඉහළ නැංවීම සඳහා සංවර්ධනය වෙමින් පවතින දූපත් රාජ්‍යයන් වෙත තිරසාර සමුද්‍ර තාක්ෂණය සහ දැනුමෙන් සන්නද්ධ සංවර්ධිත රටවලට ආරාධනා කරනවා’’ යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

“අපි සියලු දෙනාම එකම සාගරය බෙදා හදා ගන්නා බැවින්, සංවර්ධිත රටවල් අපගේ අන්තර්ජාතික සාගර කලාපය සංරක්ෂණය කිරීමේදී සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතු බව මම විශ්වාස කරමි” යැයි ද අග්‍රාමාත්‍යතුමා අවධාරණය කළේය.

“තිරසාර බව ආර්ථිකයේ සීමාකාරී සාධකයක් බවට පත් කරනවා වෙනුවට අපගේ හරිත න්‍යාය පත්‍රය මගින් වැඩි ආර්ථික වර්ධනයක් ඇති කිරීමට අපි අධිෂ්ඨාන කරගෙන සිටිමු. නීල හරිත ආර්ථික සංකල්පය යටතේ සාගර සම්පත් තිරසාර ලෙස ප්‍රයෝජනයට ගැනීම ශ්‍රී ලංකා රජයේ ජාතික ප්‍රතිපත්තිය යැයි ආර්ථික සංවර්ධනය සහ තිරසාරභාවය අතර සමතුලිතතාවය පිළිබඳව අදහස් පළ කරමින්” අග්‍රාමාත්‍යතුමා පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස