මැති ඇමැතිලගේ බැකප් රථ අඩු කළොත් ඉන්ධන වියදම් අඩු කරන්න පුළුවන්…! – දයාසිරි..

November 4, 2021 at 6:15 pm | by emanisa.lk

මැති ඇමතිවරුන්ගේ ආරක්‍ෂාව සඳහා ඉදිරියෙන් සහ පිටුපසින් යන වාහන (බැකප් රථ) සංඛ්‍යාව අඩු කළහොත් ඉන්ධන සඳහා වැයවන විශාල මුදලක් ඉතිරි කළ හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

තමා පසුපසින් යන ආරක්‍ෂක රථයක් භාවිත නොකරන බව කී රාජ්‍ය අමාත්‍ය ජයසේකර යුද්ධ කාලයේදී මෙන් ආරක්‍ෂාවක් වර්තමානයේ දි මැති ඇමතිවරුන්ට අවශ්‍ය නොවන බව ද සඳහන් කළේය.

ජනාධිපතිවරයා පවා තමන් සමඟ යන වාහන සංඛ්‍යාව අඩු කරගනිමින් ආදර්ශයක් දී ඇතැයි කී රාජ්‍ය අමාත්‍යවරයා ආරක්‍ෂක රථ වැඩි වශයෙන් භාවිත කරන මැති ඇමතිවරුන් ඇත්නම් නම් ඔවුන් ද මේ අවස්ථාවේ කැපවීමක් කළ යුතු බව කීවේය.

ඔහු මේ බව පැවසුවේ ජාවත්ත ප්‍රදේශයේ දී අද (4) පැවති උත්සවයකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

මැති ඇමතිවරුන් මේ වන විටත් ජනතාව මෙන්ම කැපකිරීම් කර ඇතැයි කී දයාසිරි ජයසේකර ඔවුන්ගේ ද වියදම් කප්පාදු කර, අලුත් වාහන, ගොඩනැගිලි හෝ මේස පුටු වෙනුවෙන් මුදල් වෙන්කිරීම නවතා ඇතැයි පැවසීය.

මැති ඇමතිනවරුන්ගේ රථ පිටුපසින් සහ ඉදිරියෙන් පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් සහිත රථ ගමන් ගන්නා විට ජනතාවටත් ඔවුන් ගැන වෛරයක් ඇති වන බව ද හෙතෙම සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *