රට හමුවේ කුමන අභියෝග, බාධක පැමිණියත් අතහැරිය නොහැකි ජාතික වගකීම් හා යුතුකම් සමුදායක් ඇති අතර එහි පළමු තැන දළදා සමිඳුන් වෙනුවෙන් කැපවීමෙන් පවත්වන පුද පූජාවන්ට අයත් යැයි ඉතිහාසයේ සිට පාලකයන් විශ්වාස කර ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.
ඓතිහාසික දළදා පෙරහැර මංගල්‍යය සාර්ථකව පවත්වා, සමාප්ත කළ බව සැලකිරීමට මහනුවර ජනාධිපති මන්දිරයේදී ඊයේ (23) පස්වරුවේ පැවැති උත්සවයේ දී ජනාධිපතිවරයා මේ බව පැවසීය.
දේශයේ විචිත්‍ර සංස්කෘතික මංගල්‍යය ලෙසින් පිළිගනු ලබන මහනුවර ඇසළ පෙරහර, පෞරාණික චාරිත්‍රානුකූලව සාර්ථකව පවත්වා, අවසන් කළ බව දැක්වෙන ඇසළ පෙරහැර සංදේශය ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ, ප්‍රදීප් නිලංග දෑල ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.
පෙරහැරේ ගමන් කළ අලි ඇතුන් වෙනුවෙන්, බන්දා හස්තියාට පලතුරුවලින් සංග්‍රහ කිරීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණ. අනතුරුව ජනාධිපතිවරයා දියවඩන නිලමේ ඇතුළු බස්නායක නිලමේවරුන් සහ පෙරහැරට ඝෘජු දායකත්වය දුන් රාජ්‍ය නිලධාරීන් සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය.
දියවඩන නිලමේ නිලංග දෑල මහතා සංදේශය ඉදිරිපත් කරමින් කොවිඞ් වසංගතය හමුවේ වුවද ඓතිහාසික දළදා පෙරහැර මංගල්‍යය සාර්ථකව පැවැත්වීමට සහාය දුන් රජයටත්, සියලු පාර්ශ්වයන්ටත් සිය ස්තුතියි පිරිනැමීය.
කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය නියමයන් ආරක්ෂා කර, මෙවර පෙරහැර මංගල්‍යය පවත්වා අතීත වගකීම, අනාගත පරපුරට පෙන්වා දීමට හැකි වූ බවද, දළදා සමිඳුන් වෙනුවෙන් කරන කැපවීම රටත්, ජාතියත් වෙනුවෙන් කරන කැපකිරීමක් ලෙස සලකන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.