දරුණු ඩෙල්ටා විකෘති ප්‍රභේද තනමින් රට පුරා පැතිරෙයි…! එක් ප්‍රභේදයක් ලංකාවට ආවේණික බවත් හෙළිවෙයි…!

August 20, 2021 at 9:05 pm | by emanisa.lk

කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ලබාගෙන ජාන විශ්ලේෂණ පරීක්ෂණවලට ලක් කෙරුණු කොරෝනා ආසාදිතයන්ගේ සාම්පල 88 කින් 84 කම ඩෙල්ටා සැර කොරෝනා වෛරස ප්‍රභේදය හමු වූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.

මේ අනුව මෙරටින් මේ දක්වා සොයා ගෙන ඇති ඩෙල්ටා සැර කොරෝනා වෛරස ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව 201ක් දක්වා ඉහළ යනු ඇත‍. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෙයට පෙර ඩෙල්ටා ආසාදිතයයෝ 117 දෙනෙක් සොයා ගනු ලැබූහ.

ඩෙල්ටා සැර කොරෝනා වෛරස ප්‍රභේදය හමුවූ සාම්පලවලින් වැඩි ප්‍රමාණයක් කොළඹ ප්‍රදේශයෙන් ලබා ගත් ඒවා බව පැවසූ ආචාර්ය ජීවන්දර ඩෙල්ටා හමුවූ සෙසු සාම්පල මහනුවර මාතලේ, රත්නපුර, නුවරඑළිය, ගාල්ල, වව්නියාව, මහරගම, මාලබේ, ගම්පහ යන ප්‍රදේශවලින් ලැබී තිබුණු ඒවා බව ද සඳහන් කළේ‍ය.

ලංකාවේ පැතිර යන ඩෙල්ටා සැර කොවිඩ් වෛරස ප්‍රභේදයේ විකෘති අවස්ථා තුනක් පසුගියදා සොයා ගත් බවත් එකම සෛලයක විකෘති අවස්ථා තුනක් එකවර හඳුනා ගැනුණු ලෝකයේ පළමු අවස්ථාව මෙය බවත් ඔහු අනාවරණය කළේය.

මෙම විකෘති අවස්ථා තුනෙන් ඒ 7015 විකෘතිය මෙතෙක් හමුවී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් පමණක් බව ද ඔහු පැවසීය. ඩෙල්ටා වයිරස සෛලයේ 1078S විකෘතිය මෙතෙක් හමුවී ඇත්තේ මැලේසියාවෙන් සහ ශ්‍රී ලංකාවෙන් පමණක් බව පැවසූ හෙතෙම 222V විකෘතිය ඩෙල්ටා පැතිරීම වේගවත්වීමට ප්‍රධාන වශයෙන් හේතු වන්නට ඇතැයි විශ්වාස කරන බවද ප්‍රකාශ කළේය.

මෙම විකෘතිතා සහිත ඩෙල්ටා ප්‍රභේදය හමුවී ඇත්තේ කොළඹ ප්‍රදේශයෙන් බවත් ඉදිරියේදී මෙම විකෘති නව ප්‍රභේදයක් ලෙස වර්ධනය වීමට ඉඩකඩ ඇති බවත් ඔහු සඳහන් කළේය. මෙම ප්‍රභේදයේ වෙනස්කම් සම්බන්ධයෙන් දිගටම පරීක්ෂණ සිදුකරන බව ආචාර්ය චන්දිම ජීවන්දර වැඩිදුරටත් පැවසුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *