ශ්‍රී ලංකාවේ සිදුවිය හැකි කොවිඞ් මරණ සම්බන්ධයෙන් ඇමෙරිකාවේ වොෂින්ටන් විශ්වවිද්‍යාලය කර ඇති හෙළිදරව්වේ සත්‍යතාව සොයා බැලීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එම විශ්වවිද්‍යාලය වෙත ලිපියක් යොමුකර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා පවසයි.
පවතින කොවිඩ් තත්ත්වය යටතේ මේ වසරේ සැප්තැම්බර් මාසය වන විට මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 20,000 සීමාව ඉක්මවා යා හැකි බවට ඇමෙරිකාවේ වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ සමීක්ෂණ ආයතනයක් ප්‍රකාශ කර තිබිණ.
මෙම පුවතේ සත්‍ය අසත්‍යතාව හෝ එය කුමන තොරතුරක් මත පදනම්ව කළ හෙළිදරව්වක්ද යන්න පැහැදිළිකර ගැනීමේ අරමුණින් සිය සංගමයේ මධ්‍යම කාරක සභාව හරහා වොෂින්ටන් විශ්වවිද්‍යාලය වෙත එම ලිපිය යොමුකර ඇතැයිද වෛද්‍ය නවීන් ද සොයිසා සඳහන් කරයි.
ඇමෙරිකාවේ වොෂින්ටන් විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ සිදුවිය හැකි කොවිඩ් මරණ ගැන කර ඇති පුරෝකථනය සත්‍යයක් නම් අපි ඒ පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග ඉක්මනින් ක්‍රියාවට නැංවිය යුතුයි. නමුත් මුලින්ම සොයාගත යුත්තේ ඒ පුවතේ සත්‍යතාවයි.