සජිත් ප්‍රේමදාස හැඬල්ල අලිමංකඩ ඩෝසර් කරලා උදාගමක් හැදුවා….! හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය පමාවුණේ ඒකයි…! – චමල්…

April 13, 2021 at 7:32 am | by emanisa.lk

හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීමට අදාළ සියලු පියවරයන් නිසි පරිදි සම්පූර්ණ කිරීමෙන් පසු අද දින නීත්‍යානුකූලව ගැසට් පත්‍රයක් ලෙස එළි දැක්වීමට අප රජයට හැකි විය. 2005-2010 අප රජය යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කය ආශ්‍රිතව ආරම්භ කරන ලද දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති අතර දිස්ත්‍රික්කය තුල වන අලි මිනිස් ගැටුම අවම කිරීම සදහා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වූ “ගජ මිතුරෝ” ව්‍යාපෘතිය යටතේ මුලින්ම මෙම වන අලි කළමනාකරණ රක්ෂිත යෝජනාව රජය ඉදිරිපත් කරන ලදී.

පටු දේශපාලන අරමුණක් වෙනුවෙන් උද්ඝෝෂණ කළ බොහෝ අය නොදන්න ප්‍රධාන කරුණ වන්නේ මෙම යෝජිත වන වලි කළමනාකරණ රක්ෂිත යෝජනාව යතාර්ථයක් කරගනු පිණිස මුලින්ම එවකට අප රජය විසින් බ්‍රිතාන්‍ය පාලනය මගින් ප්‍රකාශයට පත් කර තිබූ 1937 අංක 2 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඟ්ඳා පණතට 2009 දී විශේෂ සංශෝධනයක් ද ගෙන එන ආ බවය.

හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්ක වලට අයත් උඩවලව, ලුණුගම්වෙහෙර, තණමල්විල සහ සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආශ්‍රිතව හෙක්ටයාර 23746 ක් ඇතුළත් වන පරිදි, වනජීවි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාගේ අත්සනින් නිකුත් වූ මෙම ගැසට් පත්‍රය මගින් උඩවලව, ලුණුගම්වෙහෙර සහ බූන්දල ජාතික වනෝද්‍යාන සම්බන්ධ කරගනිමින් අලි ඇතුන්ගේ සංක්‍රමණික රටා හඳුනාගෙන ඔවුනට ගැවසිය හැකි වනාන්තර ප්‍රදේශ ජාලගත කරනු ඇත.

2011 සිට 2012 කාලය තුලදී මෙකී වන අලි කළමනාකරණ රක්ෂිත ව්‍යාපෘති යෝජනාව හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලු රාජ්‍ය ආයතන, මහජන සංවිධාන සහ ප්‍රදේශවාසීන් ගේ සහභාගිත්වයෙන් සකසන ලද අතර 2012 අගභාගයේදී “ගජ මිතුරෝ” දිස්ත්‍රික් කමිටුව විසින් ද ඒකමතිකව අනුමත කරන ලදී.

එසේ අනුමත වීමෙන් සහ හෙක්ටයාර 23746 ට අදාළ සීමා නිරණ සහ මැනුම් කටයුතු අවසන් වීමෙන් පසු 2015 දී යෝජිත ගැසට් පත්‍රිකාව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුනද 2015 ජනවාරී 09 අප රජය වෙනස් වීමත් සමගම වන අලි කලමණාකරන රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීම, විදුලි වැටවල් ඉදි කිරීම, අලි මංකඩවල් විවෘත කිරීම, ඉඩම් අත්පත් කර ගැනීම ඇතුළු පියවරයන් ක්‍රියාත්මක කිරීම සදහා යහපාලන ආණ්ඩුව කිසිදු උත්සාහයක් දරා නොතිබුණි.

එමෙන්ම 2010-2012 වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හඳුනා ගනු ලැබූ රක්ෂිතය සීමාවේ ඇතුළත් බුන්දල ජාතික වනෝද්‍යානයේ සහ හම්බන්තොට අවශේෂ වනාන්තරවල සිටින වන අලි, උඩවලව සහ ලුණුගම්වෙහෙර වනෝද්‍යාන වෙත ගමන් කරන ප්‍රධාන අලි මංකඩ වූ හැඬල්ල අලි මංකඩ එවකට යහපාලන රජයේ දෙවෙනි නායකයා වූ සජිත් ප්‍රේමදාස මහතා විසින් සම්පූර්ණයෙන්ම ඩෝසර් කොට එය උදා ගම් භූමියක් ලෙස යොදා ගැනීම නිසා යෝජිත රක්ෂිත වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට බාධා මතු විය.

කෙසේ නමුදු 2010 මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජය විසින් යෝජනා කොට සැලසුම් කොට, 2015 වන විට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ සහ පසුගිය යහපාලන රජය විසින් සම්පූර්ණයෙන්ම නොසලකා හරිනු ලැබූ වන අලි කළමනාකරණ රක්ෂිත යෝජනාව රජයේ ගැසට් පත්‍රිකාවක් බවට පත්වීම පිළිබඳව ඒ සඳහා වැඩිම කාලයක් රජයේ අවධානය යොමුකළ මහජන නියෝජිතයෙකු ලෙස අවංකවම සතුටු වෙමි.

සිය දේශපාලන පක්ෂ වෘත්තීය සගයන්ගේ උසි ගැන්වීම්වලට තවදුරටත් අවනත වීම මගින් දිස්ත්‍රික්කයේ ප්‍රමුඛතාව සහිත වැදගත් ම ව්‍යාපෘතියක සාර්ථකත්වය දැක බලා ගැනිමට ඔබට ඇති දුර්ලභ අවස්තාව මග හැරී යා හැකි බැවින් අද දින නීත්‍යානුකූලව නිකුත් කරන ලද හම්බන්තොට දිස්ත්‍රික්කයේ වන අලි කළමනාකරණ රක්ෂිත ගැසට් පත්‍රිකාව අනුව එහි සාර්ථකත්වය සඳහා රජය සමග එක්වන ලෙස ඉල්ලා සිටිමි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස