අත්අඩංගුවට පත් තරුණයෙක් අභිරහස් ලෙස මරුට….! ගල්කිස්ස පොලිසියට ඝාතන චෝදනා….!

April 1, 2021 at 12:17 pm | by emanisa.lk

මත්ද්‍රව්‍ය චෝදනාවකට අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ගල්කිස්ස පොලීසිය කළ පහරදීමක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවට ඔහුගේ ඥාතීහූ චෝදනා කරති.

සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා මේ වන විටත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුගෙන් යුත් පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

කළුබෝවිල පාසල් මාවතේ පදිංචි සුසන්ත දිසානායක නැමැති පුද්ගලයෙකු ගල්කිස්ස පොලීසිය විසින් පසුගිය මාර්තු 18 වනදා මත්ද්‍රව්‍ය චෝදනාවකට අදාළව අත්අඩංගුවට ගෙන පසුගිය 19 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු ඇප මත මුදා හැර තිබේ.

අදාළ පුද්ගලයා 21 වැනිදා තමන්ට පොලිසිය පහර දුන් බව පවසමින් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

පසුව සුවය ලබා 25 වන දා නිවස පැමිණ ඇති අතර හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් නැවත 30 වන දා අලුයම යළි රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබූ අතර ඊයේ (31) උදෑසන ඔහු මිය ගොස් තිබේ.

දේහය පිළිබඳ මහෙස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ(31) පස්වරුවේ සිදු කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද(01)දිනයේ පැවැත්වීමට නියමිත අතර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව මෙම මරණයට හේතුව නිසැකවම අනාවරණය කරගැනීමට හැකියාව පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *