සහරාන් මුලින්ම ප්‍රහාරය සැලසුම් කළේ දළඳා පෙරහැරට…! – පාස්කු කොමිෂන් වාර්තාව හෙළි කරයි….

February 24, 2021 at 11:54 pm | by emanisa.lk

පාස්කු ඉරුදින ප්‍රහාරයට නායකත්වය දුන් සහරාන් හෂීම් විසින් සැලසුම් කරන ලද මුල්ම සැලැස්ම මහනුවර ඇසළ පෙරහරට පහරදීම යැයි පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කර ඇත.

වනාතවිල්ලුවේ ආයුධ ගබඩාවක් ආරක්ෂක අංශ විසින් සොයාගනු ලැබීමත් සිරියාවේ සහ ඉරාකයේ අයි.එස්. බලය පිරිහෙමින් පැවතීම හේතුවෙන් එම සංවිධානය ප්‍රහාර එල්ල කරන ලෙසට ලොව පුරා සිය අනුගාමිකයන්ගෙන් ඉල්ලා සිටීම ආදී හේතු නිසා පාස්කු ඉරිදා ප්‍රහාරය ඉක්මන් වූ බවද එම වාර්තාව පෙන්වා දෙයි.

සහරාන් සහ මරාගෙන මැරෙන තවත් බෝම්බකරුවන් 7 දෙනකු 2019 අප්‍රේල් 20 වැනිදා ‘ස්පාත් ටවර්’ ආරක්ෂිත නිවාසයේ දී ප්‍රහාරය සාධාරණීකරණයට හේතු දක්වමින් ‘බයියාට්’දිවුරුම දී ඇති බවද එහි දැක්වේ.

මඩකළපුව නගරයට කිලෝමීටර් 4ක් දකුණේ පිහිටි කාත්තන්කුඩි නගරය සුවිශේෂ බවත් එය දිවයිනේ ඇති එකම මුස්ලිම් නගරය බවත් කොමිෂන් වාර්තාවේ සඳහන් කර ඇත. මුස්ලිම් නොවන අයට කාත්තන්කුඩියේ වාසය කිරීමට, දේපළ මිලදී ගැනීමට හෝ ව්‍යාපාර පවත්වාගෙන යාමට නොහැකි බවද එහි සඳහන් වේ.
කාත්තන්කුඩිය වර්ග කිලෝමීටර එකක පමණ භූමි භාගයක මුස්ලිම් පල්ලි 65ක් පමණ තිබෙන බවත් එම ප්‍රදේශයේ 50,000 ක පමණ මුස්ලිම් ප්‍රජාවක් සිටින බවත් කොමිෂන් වාර්තාව පෙන්වා දෙයි. ලංකාවේ නැගෙනහිර පළාතේ අනෙකුත් නගරවලට වෙනස් දර්ශනයක් මෙම නගරයේ දැකිය හැකි බවත් එහි වීදිවල කාන්තාවන් දක්නට නොලැබෙන බවත් කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වේ.

මාවනැල්ලේ බුදු පිළිම බිඳ දැමීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් වන ෂහීඩ් හා සාදික් යන දෙදෙනා විසින් අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි ළමයින් 30 දෙනකුට හිඟුල, දෙල්ගහගොඩ අංක 130/B දරන ස්ථානයේ පිහිටි හරියා මස්ජිද් තවුහිද් නමැති ඉස්ලාම් දේවස්ථානයේදී නේවාසික පුහුණු කඳවුරක් පවත්වා අයිඑස් සංවිධානය ගැන දේශන පවත්වන ලද අතර අයිඑස් සංවිධානය විසින් කුඩා දරුවකු මරාදමන ලද දර්ශන ද ඔවුන්ට පෙන්වා ඇතැයි කොමිෂන් වාර්තාවේ සඳහන් වේ.

පාස්කු ඉරිදා ප්‍රහාරයට අවශ්‍ය බෝම්බ සාදන්නට ඇත්තේ පානදුරේ ‘තස්මියා විලා’ නමැති ලිපිනයේ පිහිටි නිවසේදී බවත් කොළඹ නගරයේ හෝටල් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමට මරාගෙන මැරෙන බෝම්බකරුවන් පැමිණ ඇත්තේ මෙම නිවසේ සිට බවත් හෙළිදරව් වී ඇතැයි කොමිෂන් සභා වාර්තාව පෙන්වා දෙයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස