දුර්ලභ ශාකය වෙන තැනක රෝපණය නොකරනු….! අධිවේගය වෙන තැනක හදනු….! – දේවානි ජයතිලක නැවතත් සටනට….

February 9, 2021 at 8:19 am | by emanisa.lk

ගම්පහ, දාරළුව දුම්රිය ස්ථානය ආසන්නයේ තිබී හමුවූ අති දුර්ලභ ශාක විශේෂයක් වූ කෘඩියා සෙලනිකා (Crudia Zelanica) ශාකය ඉවත් කිරීමට ගත් උත්සාහය ගම්පහ දිසා වනජීවී නිලධාරීණී දේවානි ජයතිලක මැදිහත්වී වළක්වා තිබේ.

ලෝකයෙන් තුරන් වී ඇති බවට ලෝක රතු දත්ත නාමාවලියේ පවා සඳහන්ව තිබූ මෙය ශ්‍රී ලංකාවට ආවේණික වූ ශාකයකි.

මහනුවර අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා දිවෙන කොටස ඉදිකිරීම සඳහා අදාළ ශාකය පිහිටි බිම් ප්‍රදේශය වෙන් කර ඇති බව පරිසරවේදීන් පවසයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් වනජීවී අධ්‍යක්ෂ චන්දන සූරියබණ්ඩාර පවසා ඇත්තේ මෙම ශාකය විධිමත්ව ගලවා සුදුසු ස්ථානයක රෝපණය කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ එකඟතාවකට පැමිණ ඇති බවය.

ගම්පහ දිසා වනජීවී නිලධාරීණී දේවානි ජයතිලක පවසන්නේ මේ ශාකය ගලවා වෙන තැනක සිටුවීමට ලංකාවේ තාක්ෂණයක් තිබේද යන ප්‍රශ්නය මතුවන බවය. එසේම දැනට ශාකය පිහිට තිබෙන ස්ථානයේ තිබෙන ආරක්‍ෂිත අනෙකුත් ශාක ගැන තැකීමක් නොකර ඩෝසර් කිරීම සිදුකර ඇතැයි ද ඇය චෝදනා කරයි.

මෙම දුර්ලභ ශාකය ආරක්ෂා කරන ක්‍රමවේදය ගැන තවම තීරණයක් ගෙන නොමැති බවත් විශේෂඥයන්ගේ අදහස එය පිහිටි ස්ථානයේම සුරක්ෂිත කරමින් පාර වෙනස් කළ යුතු වීම බව යැයි දේවානි ජයතිලක වැඩිදුරටත් පවසා ඇත.

කෙසේ වුව ද මෙම ශාකය දිවයිනේ විවිධ ප්‍රදේශවල දක්නට ලැබෙන බවත් එය ඇතැම් පරිසරවේදීන් ප්‍රකාශ කරන ආකාරයේ දුර්ලභ ශාකයක් නොවන බවත් සමාජ මාධ්‍යයවල වාර්තා දක්නට ලැබෙයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස