සිරිසේන ආණ්ඩුවේ ආරම්භක අවදියේ ඉහළම ජයග‍්‍රහණය වුණේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයයි. ඒ මගින්, රාජපක්ෂ ආණ්ඩුව ගෙනා 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ආපසු හරවන ලදි. ජනාධිපති තනතුර සතුව තිබූ යෝධ, තනි පුද්ගල අභිමතානුසාරී විධායක බලය කප්පාදු කරන ලදි. ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කරන ලදි. ‘ව්‍යවස්ථා සභාවේ’ භූමිකාව ජවසම්පන්න කරන ලදි. මේ මගින්, සත්තකින්ම, ශ‍්‍රී ලංකාව යළි තිරිහන් කැරැවුණි. ඒ අනුව, වෘත්තීය කාර්යයන්හි නිමග්න උසස් පොලිස් නිලධාරීන් දේශපාලන අතපෙවීම්වලින් නිදහස් කෙරුණි. අගවිනිසුරු ශිරානී බණ්ඩාරනායක අගතිගාමීව පන්නා දැමීමෙන් පහළ අඩියකට වැටී සිටි අධිකරණය නගා සිටුවුණි. ඉහළ පෙළේ රාජ්‍ය තනතුරු සඳහා කෙරෙන පත්කිරීම් ‘ව්‍යවස්ථා සභාවේ’ සාමූහික තීරණයට යටත් කෙරුණි. ජාතික මානව හිමිකම් කොමිසම ඇතුළු ඉතා වැදගත් ස්වාධීන කොමිෂන් සභා පද්ධතියක් ඇති කෙරුණි. ඒ වූ කලී, ශ‍්‍රී ලංකාව නම් වූ රාජ්‍යය අත්කර ගත් අතිශය වැදගත් ප‍්‍රගතියකි. 2015, 2016 සහ 2017 යන කාලය මුළුල්ලේම ජනාධිපති සිරිසේන එකී 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ප‍්‍රශංසාවට ලක්කෙළේය. එය සත්තකින්ම නිවැරදි ප‍්‍රශංසාවකි. අප එකී උරුමය තවදුරටත් ආරක්ෂා කොට පෝෂණය කළ යුතුව තිබේ.
මෑතකදී ජනාධිපති සිරිසේන දේශපාලනික කරනමක් ගැසීය. රාජපක්ෂ පාලනයේ ප‍්‍රතිපත්තිවලට එරෙහිව ගෙන ගිය ඉහත කී දේශපාලනයේ සිට ඔහු දැන් රාජපක්ෂලා බලයට පත්කැරැවීම තුළින් තමාගේ දේශපාලනික වාසනාව සහ අනාගතය උර ගා බලන තත්වයට පත්ව සිටී. එම වෙනස, අනිවාර්යයෙන්ම, ඔහුගේම සමාජ ප‍්‍රතිසංස්කරණ සහ සාධනීය විපර්යාසයන් පිළිබඳ මෑත කාලීන උරුමයට සතුරුව පවතින්නකි. මන්ද යත්, දැන් ඔහු ඊට සපුරා වෙනස් දේශපාලනික න්‍යාය පත‍්‍රයක් සහ සංස්කෘතියකට උරදීමට පේවී සිටින බැවිනි. එය ජනාධිපතිවරයාගේ දේශපාලනික අයිතියක් විය හැකිය. එහෙත්, එකී මගේ ඥානාන්විත භාවය නම් අඩමාණ ය. ඒ කෙසේ වෙතත්, ඉදිරියේදී පැමිණීමට නියමිත ජනාධිපතිවරණ දේශපාලන හාහෝව තුළ මහජන ප‍්‍රතිපත්ති පිළිබඳ සංවාදය යටපත් වී යාමට ඇති ඉඩකඩ සලකාගෙන, 2015 රටේ බහුතරයකගේ අනුමැතිය මත ඇති කර ගත් ප‍්‍රතිසංස්කරණ පද්ධතියේ ජයග‍්‍රහණය අනිවාර්යයෙන්ම ආරක්ෂා කර ගත යුතුව තිබේ.
හරීම් පීරිස්
(2019 පෙබරවාරි 12 වැනි දා ‘ද අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ 19-A, Sirisena Government’s Achievement, Must Be Defended නම් ලිපියේ පරිවර්තනයෙන් උපුටා ගැනිණි.)