පසුගිය සතියේ උදය ගම්මන්පිළ මහතා විසින්, පාස්කු දින ප්‍රහාරයට අදාළව හිටපු මහාධිකරණ විනිසුරු ජයකි ද අල්විස්ගේ කමිටුව සැකසු වාර්තාවක් ප්‍රසිද්ධ කරන්නට යෙදිණ. එහි වර්තමාන ආණ්ඩුවේ මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්නගේ හා පොලිස් සේවයට නැවත කැඳවනු ලැබු ශානි අබේසේකරගේ නම් සඳහන් විය.
ආණ්ඩුවට අවශ්‍ය වී තිබුණේ, ජයකි ද අල්විස් වාර්තාවේ විශ්වසනීයත්වය ප්‍රශ්න කරන්නටය. එනයින් එම වාර්තාව ප්‍රතික්‍ෂෙප කරන්නටය. ඒ සඳහා ආණ්ඩුව කළේ, ඒක පුද්ගල කමිටුවේ සාමාජික ජයකි ද අල්විස් හිටපු විනිසුරුවරියගේ ‘විශ්වාසවන්තභාවයට’ පහර දීමය.
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත් හේරත් ඔක්තෝබර් 22වැනිදා පැවැති මාධ්‍ය හමුවේදී, ජයකි ද අල්විස් වාර්තාව ආණ්ඩුව පිළිගන්නේ නැති බව කීවේය. එපමණක් නොවේ, හිටපු මහාධිකරණ විනිසුරු ජයකි ද අල්විස් ගැන අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් සකසන ලද වාර්තාවකින් යැයි කියමින්, ඇය ‘විෂමාචාර’ චෝදනාවකට ලක්ව කාලයක් වැඩ තහනම් වී සිටි අයකු බවද කීවේය. එහෙත්, ඇගේ විෂමාචාරය කුමක්දැයි විජිත හේරත් මහතා ඒ අවස්ථාවේදී පැහැදිලි නොකළ අතර, කිසිවකු ඒ ගැන ඔහුගෙන් ඇසුවේද නැත.
විජිත හේරත් මහතා විසින් ඉදිරිපත් කරන ලද මේ වාර්තාවේ ඇතුළත් ‘විෂමාචාර’ චෝදනාව, ඉන්පසු ජයකි ද අල්විස් මහත්මියට එරෙහිව දිගින් දිගටම පාවිච්චි විය. ඒ විජිත හේරත් ඇමතිවරයා ‘කොළේ වසා ගැසූ’ කොටස නිරාවරණය කරන්නේ නැතිවය.
අනිද්දා අපට මේ ‘විෂමාචාර’ කතාවේ ඇත්ත දැනගන්නට ලැබිණ. ඒ අනුව, ජයකි ද අල්විස් කස්තුරිආරච්චි මහත්මිය, අනුරාධපුරයේ මහේස්ත්‍රාත් ධුරයේ කටයුතු කරද්දී, ඇය වෙත චෝදනා පත්‍රයක්වත් දෙන්නේ නැතිව, මහේස්ත්‍රාත් ධුරයෙන් ස්වේච්ඡාවෙන්ම ඉල්ලා අස්වන්නට ඇයට බලකර ඇත්තේ එවකට අග විනිසුරු සරත් එන් ද සිල්වාය. අගවිනිසුරු හැටියට තම බලය ඒ කාලයේ රිසි සේ අපයෝජනය කළ සරත් නන්ද සිල්වා, එවකට පහළ අධිකරණ විනිසුරුවරුන් ගැන දැඩි පීඩාකාරී පිළිවෙතක් හෙවත් කැලෑ උසාවියක් පවත්වාගෙන ගිය බව සියල්ලෝ දනිති. තමාට වුවමනා පරිදි නොහැසිරෙන අය බලහත්කාරයෙන් ‘ඉල්ලා අස්කරවීමේ’ තර්ජනයක්ද ඔහු පවත්වාගෙන ගියේය.
2000 වන විට ජයකි ද අල්විස් මහත්මිය අනුරාධපුරයේ මහේස්ත්‍රාත්වරියයි. ඇය වරෙක මරණයක් පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණයක් අනුරාධපුර මහරෝහලේ මෘතශරීරාගාරය ඉදිරිපිට පවත්වමින් සිටියදී, ඊට බාධාවන පරිදි ඇය පසුකරගෙන වාහනයක් ගමන්කොට තිබේ. මරණ පරීක්‍ෂණයක් පැවැත්වෙන බැවින්, වාහනය නතර කරන ලෙස පොලිසිය රියැදුරුට දැනුම් දී ඇතත්, වාහනය නොනවත්වාම ධාවනය කර ඇත.
ඒ ගැන සොයාබැලූ මහේස්ත්‍රාත්වරිය, රියැදුරාට විරුද්ධව නීතිමය පියවර ගන්නා ලෙස පොලිසියට දන්වා තිබේ. රියැදුරා, ජේ සෑම් නමැති, උතුරුමැද පළාත් සෞඛ්‍ය අධ්‍යක්‍ෂ කාර්යාලයේ කාර්මික නිලධාරියෙකි. නීතිමය ක්‍රියාමාර්ග ගන්නට නියම කළේ තමා බැවින්, පැමිණිල්ල තමා ඉදිරියේ නොඅසා, අනුරාධපුර දිසා විනිසුරු සී පි කීර්තිසිංහ වෙත මහේස්ත්‍රාත්වරිය විසින් යොමුකරන ලදි. පැමිණිල්ල විමසද්දී, සෑම් වරද පිළිගත් හෙයින් පොලිස් සංඥා නොතකා ධාවනය කිරීමේ වරදට රුපියල් 1000ක රජයේ ගාස්තුවක් ගෙවීමට අධිකරණය නියම කළේය.
මේ සිදුවීමට පසුවදා, අනුරාධපුර නගරයේත් උසාවිය අවටත් අධිකරණයට විරුද්ධව පෝස්ටර් අලවා තිබිණ. ‘මහේස්ත්‍රාත්වරිය ළඟින් ගියාම දඩය රුපියල් 1500යි, මෝචරිය උසාවි භූමියට ගෙනයමුද? අසාධාරණ උසාවි නියෝග හෙළා දකිමු’ යනාදි වාකය එම පෝස්ටර්වල තිබිණි. පෝස්ටර් ගැහුවේ කාගේ මෙහෙයවීමෙන්දැයි අනුරාධපුරයේ ඇත්තන්ට සැකයක් නොවීය.
මේ විරෝධතාව ගැන ජයකි ද අල්විස් මහත්මිය අගවිනිසුරු සරත් එන් සිල්වාට දැනුම් දුන්නේය. ඔහු මුලින් ඒ ගැන වැඩි අවධානයක් යොමු කළේ නැත. එහෙත්, පසුව ඇයට දූරකථනයෙන් කථාකළ රාජ්‍ය සේවයේ හිතවතෙක්, ‘සීජේට ටිකක් තරහ ගිහින් තියෙන්නේ. ඇවිත් හමුවුණා නම් හොඳයි’ කියා ඇයට දැනුම් දී තිබේ.
පසුවදා ඔහු හමුවූ විට, ‘පෞද්ගලික හේතු මත ඉල්ලා අස්වන බවට ලියුමක් ලියලා දෙන්නයැ’යි අගවිනිසුරුවරයා ඇයට පවසා තිබේ. ඒ සඳහා කිසිම චෝදනා පත්‍රයක් ඇයට නොලැබිණ. වචනය හා නියෝගය අගවිනිසුරුගේ බැවින්, ඇයට විකල්පයක්ද නොතිබිණ. ඇය ‘පෞද්ගලික හේතු මත ඉල්ලා අස්වන බවට’ ලියුමක් ලියා දුන්නාය. ‘මෙයාව අනුරාධපුරේ ඇරියේ උසාවියේ වැඩ කරන්න. ඒත් මෙයා උතුරුමැද පළාත හදන්න හදනවානෙ’ යැයි අගවිනිසුරුවරයා ඒ මොහොතේ එතැන සිටි වෙනත් විනිසුරුවරුන්ට කීවේය.
2006 වසරේදී ඇගේ ඉල්ලීම මත, නැවතත් මහේස්ත්‍රාත් ධුරය සඳහා ඇය බඳවාගන්නා ලදි. ඒ පරණ ජ්‍යෙෂ්ඨභාවය හිමි නැති බවට එකඟතාවක්ද ඇතිවය. ‘බලවත් විෂමාචාරයක්’ ඇය කර තිබුණා නම්, නැවතත් ඇය අධිකරණ සේවයට කැඳවන්නට ඉඩක් නැත. ඇය විශ්‍රාම ගත්තේ කෑගල්ල මහාධිකරණයේ විනිසුරුවරිය හැටියටය.
විජිත් හේරත් ඇමතිවරයාටත් ආණ්ඩුවටත් පාස්කු කමිටු වාර්තාව හෙළා දකින්නට වුවමනා වීම නිසා, එය සැකසූ ජයකිද අල්විස් මහත්මියටත් පෞද්ගලිකව පහර දීමේ පියවරක් ගත්තේය. ඒ සඳහා පිටිවහලක් වුණේ, අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් සකස් කරන ලද වාර්තාවකි. ඇගේ ‘විෂමාචාරයක්’ ගැන සඳහන් වන්නේ එහිය.
විජිත හේරත් මහතාට ලැබුණු එම වාර්තාවේ ජයකි ද අල්විස් මහත්මිය ගැන මේ කියන ‘විෂමාචාරය’ ගැන විස්තර සහිතව සඳහන් වූ නමුත්, විජිත හේරත් ඒ කොටස සම්පූර්ණයෙන් නොකීවා වන්නටද හැකිය. නැතිනම් වාර්තාවේ විෂමාචාරය ගැන විස්තර කොට නැතිවා වන්නටද හැකිය. ඒ වාගේම ඇගේ ඉල්ලා අස්වීම ‘පෞද්ගලික හේතු මත කළ එකක්‘ බවට එම ගොනුවේ තිබෙන්නටද හැකිය. මන්ද යත්, සරත් නන්ද සිල්වාට අනුව එය ‘ඉල්ලා අස්වීමක්’ බැවිනි. මෙයින් කුමක් හරිද?
කේ. ඩබ්ලිව්. ජනරංජන
අනිත්දා