ජෙරොම්ගේ මිරකල් ඩෝම් ගොඩනැඟිල්ල හදන්න කෝටි 330ක්…!

June 6, 2023 at 10:15 am | by emanisa.lk

බෞද්ධාගම ඇතුළු අන්‍යාගම්වලට අපහාස වන ප්‍රකාශයක් කළ බව කියන දේවගැති ජෙරොම් ප්‍රනාන්දු දේව මෙහෙයන් පවත්වන “මිරකල් ඩෝම්” නම් ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා රුපියල් කෝටි 330ක මුදලක් වැය කර ඇතැයි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ඊයේ (05) සඳහන් කළේය.

එවැනි විශාල මුදලක් ලැබී ඇත්තේ කෙසේ දැයි යන්න පිළිබඳ විමර්ශනය කළ යුතු බවයි, ජනාධිපති නීතීඥවරයා අවධාරණය කළේ.

එසේම ඔහුගේ අධ්‍යාත්මික නායකයා ලෙස සලකන “ඌබට් ඒන්ජල්” නමැත්තා සිම්බාබ්වේ රාජ්‍යයේ මුදල් විශුද්ධිකරණ සහ රන් ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූවකු බව ද හෙතෙම සඳහන් කළේය.

ඔහුගේ එම කටයුතු රටවල් 14ක ව්‍යාප්ත වී ඇති බව ද ජනාධිපති නීතිඥවරයා කීය.

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු පැවැත්වූ දේව මෙහෙයක දී බෞද්ධාගම ඇතුළු අන්‍යාගම්වලට අපහාස වන ප්‍රකාශයක් කළ බව පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බැවින් එය වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ඊයේ සලකා බැලූ අවස්ථාවේ දී ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මේ බව සඳහන් කළේය.

එස්. තුරෙයිරාජා, කුමුදුනී වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවිණි.

එම පෙත්සම ලබන ජූලි මස 28 වැනි දා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (05) තීරණය කළේය.

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ගොනු කර ඇති මෙම පෙත්සම ඉවත දමන ලෙස ඉල්ලා අතරමැදි පාර්ශ්ව පෙත්සමක් ඉදිරිපත් කර ඇති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු ආගමික නායකයින් හයදෙනකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

පෙත්සම්කාර දේවගැතිවරයා බෞද්ධ, හින්දු සහ ඉස්ලාම් ආගමික ඉගැන්වීම් සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශයක් කර ඇති බව ඔහු සඳහන් කළේය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *