පාන් පිටි හිඟයක් ඇති වෙන්නේ නෑ,..! රටේ ඇති තරම් තොග තියෙනවා..! – ඇමැති…

September 5, 2022 at 5:17 pm | by emanisa.lk

තිරිඟු පිටි මිල ඉහළ නැංවීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් මේ මොහොතේ තිරිඟු පිටි සඳහා පාලන මිලක් පැනවීම ප්‍රායෝගික නොවන බවත් වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි.

අද (05) වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයේ දී සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සමග පැවැති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

මහා පරිමාණ තිරිඟු පිටි නිෂ්පාදන සමාගම් දෙක සමග පැවති සාකච්ඡාවකදී මසකට අවශ්‍ය පිටි නිෂ්පාදනය කිරිම සඳහා වූ තොග ඔවුන් සතුව ප්‍රමාණවත්ව තිරිඟු තොග පවතින බව එම සමාගම් දෙක ප්‍රකාශ කර ඇත.

තුර්කිය හා ඩුබායි යන රටවලින් ඇනවුම් කර ඇති තිරිඟු පිටි තොග සැප්තැම්බර් මස 15 පමණ වන විට මෙරටට ලැබීමට නියමිත බැවින් ඉදිරියේදී වෙළෙඳපළේ තිරිඟු පිටි හිඟයක් ඇති නොවන බව මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

මෙහිදී අමාත්‍යවරයා ඉදිරි මාස හය සඳහා දේශීය පරිභෝජනයට අවශ්‍ය තිරිගු පිටි අවශ්‍යතාව පිළිබඳව ලිඛිත වාර්තාවක් ලබා දෙන ලෙස වෙළෙඳ අමාත්‍යංශ බලධාරීන් දැනුවත් කර ඇත.

එමෙන් ම, තිරිඟු පිටි නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවන ලෙසට මේ වන විට මහා පරිමාණ තිරිඟු පිටි නිෂ්පාදන සමාගම් වෙත ඉල්ලීමක් කර ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර ඇත.

බේකරි නිෂ්පාදන සඳහා අවශ්‍ය මාගරින්වල මිල ඉහළ යාම සම්බන්ධයෙන් වූ ගැටලුව කෙරෙහි ද මෙහිදී අමාත්‍යවරයාගේ අවධානය යොමු වී ඇති අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හරහා ලංකාවට මාගරින් ආනයනය කරනු ලබන ප්‍රධාන ආයතනයන්හි මිල ගණන් පිළිබඳව සොයා බැලීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා වැඩිදුරට ත් ප්‍රකාශ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *