225 දියවන්නාවට විසි කරලා වැඩක් නෑ…! පරිසර හානියක් වෙනවා විතරයි…! – ජනපති…

May 15, 2023 at 10:44 am | by emanisa.lk

ශ්‍රී ලංකාව දියුණු රටක් බවට පත්වෙමින් ඇත්තේ තමන් ගනු ලැබූ පියවර අනුව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

2048 සංවර්ධිත ශ්‍රී ලංකාවක් කරා යන ගමනට උපරිමයෙන් දායක වීමට තරුණ තරුණියන්ට අවස්ථාව සලසා දී ඇති බව ත් පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා සඳහා සහභාගිවීමට තරුණ නියෝජිතයන්ට අවස්ථාව සලසා දීම එහි සුවිශේෂී පියවරක් බවත් ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හි පැවති පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවල තරුණ නියෝජිතයන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවේ සමාරම්භක අවස්ථාව අමතමින් ජනාධිපතිවරයා මේ බව කීය.

“අද මෙම අවස්ථාවට පාර්ලිමේන්තු ආංශික කමිටු සඳහා තෝරාගන්නා ලද තරුණ නියෝජිතයන් 500කට වැඩි පිරිසක් එක්ව සිටිනවා. ඔබ සියලු දෙනා තෝරාගෙන ඇත්තේ පාර්ලිමේන්තුවේ වැඩකටයුතුවලට සහභාගි වීමට. නිරීක්ෂකයෙක් ලෙස නොවෙයි, පාර්ලිමේන්තු කමිටුවල සිටින තරුණ නියෝජිතයන් ලෙසයි, ඔබගේ ඒ සහභාගිත්වය සිදු වන්නේ. මම හිතන්නේ ලෝකයේ පළමු වතාවටයි, මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක වන්නේ.

පාර්ලිමේන්තු කොමිටියකට, අමෙරිකාවේ සෙනෙට් කොමිටියට, කොංග්‍රස් කොමිටියට සහභාගි විය හැක්කේ ඒවායෙහි මන්ත්‍රීවරුන්ට පමණයි. නමුත් අපේ අගමැතිතුමා, කතානායකතුමා, විපක්ෂ නායකතුමා ඒ සංශෝධනය සිදු කළ ස්ථාවර නියෝග යටතේ තරුණ නියෝජිතයන් ලෙස ඔබට ඒ සඳහා සහභාගි වීමට අවස්ථාව සැලසී තිබෙනවා.

අග්‍රාමාත්‍යතුමා සඳහන් කළ ආකාරයට කොමිටියේ මන්ත්‍රීවරුන්ගේ වාර්තාවට අමතරව ඔබේ අදහස් ද එහි ඇතුළත් කිරීමට අවස්ථාව තිබෙනවා. පාර්ලිමේන්තුවේ අපි දකින්නේ සභාගර්භයේ ඇතුළේ වාද විවාද කරන එක, ප්‍රශ්නවලට පිළිතුරු දෙන එක විතරයි. එහෙත් අද ඕනෑ ම පාර්ලිමේන්තුවක කටයුතු සිදු වන්නේ කමිටු මාර්ගයෙන්. අධීක්ෂණ කමිටු, මුදල් කමිටු ලෙස කමිටු ගණනාවක් තිබෙනවා.

අපි මුදල් අනුමත කරනවා නම් එම මුදල් වියදම් කිරීම පිළිබඳ, නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ සොයා බලන්න අධීක්ෂණ කමිටු තිබෙනවා. ඒ සඳහා රාජ්‍ය මූල්‍ය කමිටු වගේ කමිටු ගණනාවක් තිබෙනවා. ඒ නිසා සභාගර්භයට ඇතුළු වී කතා කිරීම, ඡන්දය ප්‍රකාශ කිරීම හා ආලින්දයට පැමිණීම හැර අනෙක් සියලු කටයුතුවලට ඔබට සහභාගි වීමට අවස්ථාව තිබෙනවා. මෙය ලෝකයේ පළමු වතාවටයි සිදුව තිබෙන්නේ.

අපි මේ වැඩසටහන ආරම්භ කරද්දි ඇතැම් අය කිව්වා මේක මහා බොරු වැඩක්, කාලය නාස්ති කරන වැඩක් කියලා. ඇතැමුන්ට විශාල ප්‍රශ්නයක් තිබුණා මේ මොකක්ද කියලා. එහෙත් පිරිසක් බය නැතිව තමන්ගේ නම් ඉදිරිපත් කළා. ඒ අයගෙන් තමයි හොඳ ම 535 දෙනා අපි මේ සඳහා තෝරගෙන තිබෙන්නේ.

ඔබ සියලු දෙනා මේ සඳහා සහභාගි වී මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමෙන් පසුව අනෙක් පිරිසත් අපිට මේ සඳහා තෝරාගත හැකියි. මෙම නියෝජිතයන් තෝරා ගැනීම මෙවර ගැටලුවක් නොවුවත් දහස් ගණනක් අතරින් මෙම පිරිස තෝරාගැනීම ඉදිරියේදී විශාල ගැටලුවක් බවට පත් වෙනවා. මෙම වැඩසටහන් සඳහා තමයි අපි අපේ අවධානය යොමු කළ යුතු වන්නේ.

ඔබට අද මෙම අවස්ථාව ලැබී තිබෙනවා. කිහිපදෙනකුට පමණයි ඉතිහාසයේ මෙම අවස්ථාව ලැබුණේ. මම වාසනාවන්ත වුණා වයස අවුරුදු 28දී පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය ඇමැතිකමක් ලබාගැනීමට. ඊට පෙර එවකට විපක්ෂ නායක ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා සමග පාර්ලිමේන්තුවට පැමිණි නිසා පාර්ලිමේන්තුව කෙසේ ද ක්‍රියාත්මක වෙන්නේ කියා අපට දැනගැනීමට පුළුවන් වුණා. එහෙත් බොහෝ දෙනකුට එම අවස්ථාව ලැබී නැහැ. අද එම අවස්ථාව ඔබට ලැබී තිබෙනවා. එයින් සම්පූර්ණ ප්‍රයෝජන ලබා ගන්න කියා මම කියන්න කැමැතියි.

පසුගිය වසරේ විශාල කැලඹීමක් මේ රටේ තිබුණා. එම අවස්ථාවේදී තමයි මම හිටපු කථානායක කරු ජයසූරිය මැතිතුමා සමඟ සාකච්ඡා කළේ මොකක්ද මෙයට අපි ලබාදෙන පිළිතුර කියලා. මෙයට පෙර කෑ ගහපු එකකටවත් පිළිතුරක් ලැබුණේ නැහැ.

පාර්ලිමේන්තුවේ 225 ම දියවන්නා ඔයට දාන්න කිව්වා. එහෙම කළා නම් වෙන්නේ පරිසරයට හානියක් වෙන එක විතරයි. කොහොමත් අනෙක් පක්ෂවලින් තව 225ක් මෙතැනට දානවා. ඒ නිසා එය ඇත්ත වශයෙන් ම විසඳුමක් නොවෙයි. ගෙවල් ගිනි තියන එකත් විසඳුමක් නොවෙයි. පාර්ලිමේන්තුව වට කරලා අල්ල ගන්න හදන එකත් විසඳුමක් නොවෙයි.

එදා ප්‍රශ්න තිබුණා. ඇයි අපි බංකොලොත් රටක් බවට පත් වුණේ. අපේ ආර්ථිකයට මොකක්ද වුණේ. ඒ ප්‍රශ්න ඇසීමට සිදු වෙනවා. මම කුඩා කාලයේ ලංකාව ජපානයට පමණයි දෙවැනි වුණේ. නමුත් අපි අද කොතැන ද ඉන්නේ.

ඒ අනුව තමයි අපි කොහොම ද මේ ක්‍රමය වෙනස් කරන්නේ කියලා මමත්, කරු ජයසූරිය මැතිතුමත් එක්ව සාකච්ඡා කළේ. එතුමා තමයි පසුව මට කතා කරලා කිව්වේ අපි අධීක්ෂණ කාරක සභා සහ අනෙකුත් කාරක සභාවලට තරුණ නියෝජිතයන් ඇතුළත් කරමු කියලා.

මම කිව්වා ඒ ගැන මට වාර්තාවක් දෙන්න කියලා. මම ඒක කථානායකතුමාටත් දුන්නා. පක්ෂ නායකයන් ගත්තත්, කැබිනට් මණ්ඩලය ගත්තත් දැන් ඔබ සියලු දෙනා මීට ඇතුළත් වී තිබෙනවා. අපි එතුමාට විශේෂයෙන් ම ස්තුති කළ යුතුයි මේ යෝජනාව ඉදිරිපත් කිරීම පිළිබඳව.

මම හිතන්නේ නැහැ ඔබට මේ ලැබී තිබෙන අවස්ථාව වෙන කිසිවකුට ලැබෙයි කියලා. ආර්ථිකය කඩා වැටිලා, රට බංකොලොත් වෙලා මේ ක්‍රමවේදය සමග තව දුරටත් අපට ඉදිරියට යා නොහැකියි කියලා සිතුණු අවස්ථාවක විශාල ප්‍රතිව්‍යුහගත කිරීමක් කරනවා. අපේ ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කරනවා. වියදම් අඩු කරනවා. අලුත් ක්‍රමවේද එනවා. දැන් මිල සූත්‍රවලින් තමයි ඉන්ධන ලබාදීම සිදු වන්නේ. ඒ සමඟම අපේ සංස්ථා ගණනාවක් ප්‍රතිව්‍යුහගත කිරීමට තිබෙනවා. අලුත් අධ්‍යාපන ක්‍රමයක් ගැන සිතන්න තිබෙනවා.

විශේෂයෙන් ම, දේශගුණික විපර්යාස පිළිබඳ නීති 5ක් ගෙන ඒමට ආණ්ඩුව සැලසුම් කර තිබෙනවා. කාන්තා අයිතිවාසිකම් ගැන නීති 3ක්, 4ක් ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. තවත් නව නීති ගණනාවක් තිබෙනවා. එසේ නම්, මේ පිළිබඳ සාකච්ඡා කිරීමට ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබේ අදහස් ප්‍රකාශ කරන්න.

ඔබ කොහොමද මුදල් වියදම් කරන්නේ, ඇයි මේ විෂයට මුදල් ලබා දුන්නේ, ඇයි අනෙක් විෂයයන්ට මුදල් ලබා නොදුන්නේ. මේ සියල්ල ඔබට දැන ගන්න පුළුවන්. ඔබට උදවු කිරීමට දැනට පාර්ලිමේන්තුවේ පර්යේෂණ අංශයක් තිබෙනවා. ඊට අමතරව පාර්ලිමේන්තු අයවැය කාර්යාලය කියලා අලුත් එකක් අපි ඇති කරනවා. අනෙකුත් අමාත්‍යාංශවලිනුත් සහාය ලබාගත හැකියි.

ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රය දේශපාලනය පිළිබඳ අධ්‍යාපනය ලබා දෙන කේන්ද්‍රයක් බවට පත්කිරීමට අපි සැලසුම් කර තිබෙනවා. එසේ නම් ඔබට අවස්ථාව තිබෙනවා මෙයින් සම්පූර්ණ ප්‍රයෝජන ලබා ගැනීමට ය.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ලෙස, සභාපතිවරු ලෙස අපිට එම වැඩකටයුතු කිරීමට තිබෙනවා. අපි සෑම අවස්ථාවක ම පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මෙය මත ගැටුමක් බවට පත්කරගත්තේ නැහැ. සමහර විට පක්ෂ ගැටුමක් වුණා, මන්ත්‍රි ගැටුමක් වුණා. අපි දැන් මෙය මත ගැටුමක් බවට පත්කරගත යුතුයි. මේ අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරුන්ටත්, මන්ත්‍රීවරුන්ටත් යුතුකමක් තිබෙනවා එම රැස්වීම් පැවැත්වීමට, ඒ වගේ ම, ඒවට සහභාගි වීමට. එදිනෙදා කටයුතු පිළිබඳ පමණක් නොවෙයි ඒ වැදගත් කරුණු පිළිබඳ ඔවුන් සාකච්ඡා කළ යුතුයි.

මම කතානායකතුමාට යෝජනා කරනවා සෑම මාසයක ම මේ කමිටු රැස් විය යුතුයි. රැස්වීමට නොහැකි වුවහොත් ඒ සභාපතිවරයාගෙන් කරුණු විමසිය යුතුයි කියලා. මන්ත්‍රීවරුන් පැමිණෙන්නේ නැත්නම් එය සොයා බැලිය යුතුයි. මාස දෙකක් පමණ එය සිදුවන්නේ නැත්නම් ඒ අය මාරු කරන්න. නැත්නම් මේ පිරිසට තිබෙන අවස්ථා අහිමි වෙනවා.

මෙම ලැබී ඇති අවස්ථාවෙන් ඔබ සම්පූර්ණ ප්‍රයෝජන ලබා ගන්න. මෙය ඓතිහාසික අවස්ථාවක්. පළමු වතාවටයි පාර්ලිමේන්තුවක් මෙලෙස නියෝජිතයන් පත් කරන්නේ. මෙය කොතැනකවත් සිදු වී නැහැ.

අපේ පාර්ලිමේන්තුව පැරණි එකක්. එහි අතීතය 1835 දක්වා දිවයනවා. අපට වඩා පැරණි පාර්ලිමේන්තු කීය ද තිබෙන්නේ. එංගලන්තයේ, අමෙරිකාවේ, ඩෙන්මාර්කයේ, ස්විස්ටර්ලන්තයේ එවැනි පාර්ලිමේන්තු තිබෙනවා. මේ පාර්ලිමේන්තුවේ විවිධ වැඩසටහන් සිදුකර තිබෙනවා. අද තිබෙන්නේ අලුත් ක්‍රමවේදයක්.

මේ පිළිබඳව පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු කණ්ඩායමටත් දැනුම් දීලා ඒ අයටත් එන්න කියන්න පුළුවන්. ඒ වගේ ම, මම ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගමයටත් දැනුම් දෙනවා. යුරෝපීය පාර්ලිමේන්තුවෙන්, අමෙරිකාවෙන් මේ වැඩසටහන ඉදිරියට ගෙනයෑමට අපට සහාය ලබාගත හැකියි. ඒ වගකීම් ඔබට ලබා දී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ තරුණ නියෝජිතයන් එකට එකතුවෙලා මේ කටයුතු කරගෙන යන්න. අපි මෙතැනින් මේ වැඩකටයුතු නතර කරන්නෑ. අපි කොහොම ද සංවර්ධිත රටක් බවට පත්වන්නෙ. හැමදා ම සංවර්ධනය වෙමින් පවතින රටක් වෙන්න බැහැ. රටට හොඳ අනාගතයක් අවශ්‍යයි. ඒ සඳහා හොඳ ආර්ථිකයක් තිබිය යුතුයි. නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ සඳහා ඔබගේ අදහස් ලබා දෙන්න.

කරු ජයසූරිය මැතිතුමා ජන සභා පනත ගෙන එනවා සෑම ග්‍රාමසේවා කොට්ඨාසක ම ජන සභාවක් ඇති කිරීම සඳහා. එමඟින් තරුණ තරුණියන්ට සහභාගි විය හැකි තවත් විශේෂ අවස්ථාවක් හිමි වෙනවා. යොවුන් පාර්ලිමේන්තුව සඳහා තේරීම් බොහෝදුරට සීමා වී තිබෙනවා. ප්‍රාදේශීය මට්‌ටමින් තරුණ සංවිධාන සියල්ල ම එකතු කරගෙන එම තේරීම් සිදුකිරීම පිළිබඳව ජාතික තරුණ සේවා සභාව දැන් සාකච්ඡා කරමින් සිටිනවා.

තවත් නව පියවර ගණනාවක් තිබෙනවා. මෙම ක්‍රමවේදය වෙනස් කළ යුතුයි. එය සිදුකළ හැක්කේ ව්‍යවස්ථාව අනුවයි. ඊළඟ පාර්ලිමේන්තුව පත්වනතුරු බලා නොසිට දැන් අවස්ථාව තිබෙනවා එකට එකතුවී මෙම වැඩකටයුතු සිදු කිරීමට. එසේ නම් මෙම අභියෝගය අපි භාර ගමු. ඒ සඳහා සාර්ථක විසඳුම් ලබා දෙමු.”

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහය ඇතිව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් මෙම වැඩමුළුව සංවිධානය කරනු ලැබූ අතර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කතානායක මහින්ද යාපා අබේවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නිත්‍ය නියෝජිත අසුසා කුබෝටාල ආංශික අධීක්ෂණ කාරක සභාවලට තේරී පත් වූ තරුණ නියෝජිතයන් දෙදෙනෙක් ද මෙහිදී දහස් දැක්වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස