17 හදිසි විදුලි බිඳ වැටීමේ පාඩුව රුපියල් බිලියන 19යි…! – SenFin Securities….

October 23, 2026 at 10:31 am | by emanisa.lk

පසුගිය ඔක්තෝබර් 17 වැනිදා දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිඳවැටීම නිසා මෙරට දළ දේශීය නිෂ්පාදිතයට සිදු වූ සමස්ත අලාභය රුපියල් බිලියන 19ක් පමණ වන බව Sen Fin Securities ආයතනය වාර්තාවක් නිකුත් කරමින් පවසයි.

එම ආයතනය වැඩි දුරටත් පෙන්වා දෙන්නේ විදුලිබල ක්ෂේත්‍රයට පමණක් එමගින් සිදුවූ සෘජු මූල්‍ය පාඩුව රුපියල් බිලියන 2.3 සිට රුපියල් බිලියන 5.8 දක්වා ඉහළ අගයක් ගන්නා බවයි.

‘Senfin – Sri Lanka Electricity Generation Review’ නමැති එම විශේෂ අධ්‍යයන වාර්තාවට අනුව, ජාතික විදුලිබල පද්ධතියේ හටගත් අසමතුලිතතාව මෙම පද්ධති බිඳවැටීමට (Grid collapse) ප්‍රධාන හේතුව වී තිබේ. ඊට පෙර දින, එනම් ඔක්තෝබර් 16 වැනිදා ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරයේ හටගත් තාක්ෂණික දෝෂයද මෙම අර්බුදය තීව්‍ර කිරීමට හේතු වූ බව එහි සඳහන් වේ.

එදින පෙරවරු 11.43ට පමණ විසන්ධි වූ විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට පස්වරු 6.30 පමණ වන තෙක් පැය හයකට අධික කාලයක් ගත විය. එම කාල සීමාව තුළ රටට අහිමි වූ විදුලි උත්පාදන ධාරිතාව ගිගාවොට් පැය 8 -15 ත් (GWh) අතර අගයක් ගන්නා බව ගණනය කර ඇත.
අහිමි වූ එක් කිලෝවොට් පැයකට සිදුවූ අලාභය රුපියල් 212 බැගින් තක්සේරු කිරීමේදී, විදුලිබල පද්ධතියට අහිමි වූ සෘජු විදුලි ආදායම පමණක් රුපියල් බිලියන 1.7 සිට 3.7 දක්වා වේ.

ඊට අමතරව, බිඳවැටුණු පද්ධතිය යළි සමතුලිත කර පණගැන්වීම සඳහා හදිසියේ තාප බලාගාර ක්‍රියාත්මක කිරීමෙන් දැරීමට සිදු වූ අධික ඉන්ධන පිරිවැයද ගණනය කළ විට, විදුලිබල ක්ෂේත්‍රයේ සමස්ත පාඩුව රුපියල් බිලියන 5.8ක් තරම් ඉහළ අගයක් ගන්නා බව එම වාර්තාව පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *