75 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබේ.
“75 වන ජාතික නිදහස් දිනය සමරන මේ අවස්ථාව අපට අතිශයින් ම තීරණාත්මක සහ අභියෝගාත්මක කාලයකි.
පසුගිය වසර 75 පුරා අප විසින් දිනා ගන්නා ලද දෙයට වඩා අහිමි කර ගන්නා ලද දේ බොහෝ ය. එලෙස අහිමි වූ දේ ළඟා කර ගැනීම සඳහා ලෝක ආර්ථිකයේ සැලකිය යුතු තරම් විශාල පංගුවක් අත්පත් කර ගැනීමට අවශ්‍ය උපාය මාර්ග සැලසුම් කිරීම මේ වසරේ අපගේ මූලික අභිප්‍රායයි.
ඒ සඳහා වූ නව ආර්ථික සහ සමාජ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ අප දැන් රට හමුවේ තබා ඇත. ප්‍රෞඩ ජාතියක් වූ ශ්‍රී ලාන්කේය ජාතියේ අතීත ශක්තීන් නැවත මෙනෙහි කරමින් සහ නවීන තාක්ෂණය සමග එක් ව තරගකාරී ලෝක ආර්ථිකයේ නව ඉසව් කරා අපි කඩිනමින් පියනැගිය යුතු වෙමු.
2023 වසරේ 75 වන නිදහස් දින සැමරුමෙන් ඇරඹෙන මෙම නව ප්රතිසංස්කරණවාදී ගමන් මග 2048 වසරේ සමරන 100 වන නිදහස් දිනය දක්වා නොවෙනස් රාජ්‍ය ප්‍රතිපත්තියක් බවට පත් කිරීම මගේ රජයේ මූලික අරමුණයි.
100 වන නිදහස් සැමරුම් දිනයේ දී පුරවැසියන්ගේ සියලු මූලික අවශ්‍යතා සපිරුණු, ඉහළ ආර්ථික සමෘද්ධියක් අත්කර ගත්, ගෝලීය ප්රාග්ධනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් වූ නව ශ්‍රී ලංකාවක් නිර්මාණය වනු ඇතැයි මම විශ්වාස කරමි.
ඒ උදෙසා අද ගත යුතු පියවර නො බියව ගන්නා බව ප්‍රකාශ කරමි. ඔබගේ විශ්වාසයත්, ආශීර්වාදයත් ඒ සඳහා මම බලාපොරොත්තු වෙමි.
නොබැඳි නමුත් තීරක බලයක් ඇති, නොසැලෙන, දේශගුණික විපර්යාසයන්ට විසඳුම් සෙවීම වැනි තිරසර අභිලාෂයන් සහිත නව විදේශ ප්‍රතිපත්තියක් අපි දැන් ක්‍රියාත්මක කරමින් සිටිමු. ලෝකයේ සියලු ජාතීන් සමග එකමුතුව කටයුතු කළ හැකි ශ්‍රී ලාංකිකයන් ලෙස නව නිදහස් වෙළෙඳ ගිවිසුම් කෙරෙහි ද අපි නැඹුරු වෙමින් සිටිමු.
ලොව පුරා වාසය කරන ශ්‍රී ලාංකික ජනතාව අපේ රටේ උන්නතිය උදෙසා ලබාදෙන දායකත්වය මම කෘතඥතා පූරකව සිහිපත් කරමි.
අපේ තරුණ ප්‍රජාව නව ව්‍යාපාර ඇරඹීමට උචිත අදහස්වලින් පෝෂණය වී ඇති නමුත් ප්‍රාග්ධන හිඟකම ගැටලුවක් ව පවතී. අපේ තරුණ පරපුරේ එවැනි නව සංකල්ප සඳහා ආයෝජනය කිරීමේ හැකියාව විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඇත. එබැවින් මෙරට සිටින තරුණ ප්‍රජාව සහ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් නව ව්‍යාපාරික සංකල්ප ඔස්සේ අනාගත ශ්‍රී ලංකාව ගොඩනැගීම සඳහා ක්‍රියා කරනු ඇතැයි මම විශ්වාස කරමි.
ආර්ථිකමය වශයෙන් අභියෝගාත්මක මේ කාල වකවානුවේ දී වඩාත් ඉවසුම්සහගතව සහ අධිෂ්ඨානශීලීව ක්‍රියා කරමින් මෙම නව ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට දායක වන ලෙස සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් මම ඉල්ලා සිටිමි.
දියුණු සමාජ, ආර්ථික සහ දේශපාලන අවකාශයක සැබෑ නිදහස අත්විඳින ශ්‍රී ලංකාවක් වෙනුවෙන් අපි කැප වෙමු.”