හැම දේට ම වඩා මම මගේ රටට ආදරෙයි…! බෙල්ල ගහල ගියත් රට වෙනුවෙන් හැකි උපරිමය කරනවා…! – මුදල් ඇමැති සබ්‍රි..

April 9, 2022 at 8:31 am | by emanisa.lk

බෙල්ල ගහල ගියත් රට වෙනුවෙන් කරන්නට පුළුවන් උපරිමය කරන බවත් තමන් හැම දේටම වඩා රටට ආදරේ කරන බවත් මුදල් ඇමැති, එම්.යූ.එම්. අලි සබ්රිපාර්ලිමේන්තුවේ දී ඊයේ (8) අවධාරණය කළේය.

මේ තනතුර භාර ගැනීමට සුදුස්සන් නොඑන්නේ නම් මෙය කවුරුත් භාර ගැනීමට අකමැති නම් තමන් පුළුවන් උපරිමය කරන බව පැවසූ අලි සබ්රි තමා තව දුරටත් මුදල් ඇමැතිවරයා ලෙස කටයුතු කරන බවත් කීවේය.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල ගැන කතා කරන මොහොතේ අලි සබ්රි මුදල් ඇමැතිවරයා ලෙස කටයුතු කරන්නේ දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. සුමන්තිරන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

“මම දන්නවා මෙය භාර ගන්න කොට දැඩි ලෙස විවේචනයකට ලක් වේවි. විහිළුකාරයෙක් වෙන්නත් වේවි. ඒ හැමදේටම වඩා මම මගේ රටට ආදරය කරනවා. මොන අපවාද අපහාස ආවත් මේ රට ඉදිරියට ගෙන යෑමත්, මේ රටේ මිනිසුන්ගේ අවශ්‍යතා ඉටු කිරීමටත් කටයුතු කරනවා.

ඒ අවස්ථාවේ තිබුණ ඉල්ලීමට අනුව මට ජනාධිපතිවරයා මුදල් ඇමැති ධුරය දුන්නා. මට හිතුණා මට වඩා දක්ෂ හොඳ පුද්ගලයකු ඉන්නව නම් මේක භාර ගන්න මම මගේ මන්ත්‍රී ධූරයෙනුත් යන්නම් කියලා මම කිව්වා.

අන්තර්ජාතික ප්‍රජාව, අන්තර්ජාතික මූල්‍ය අරමුදල, මිත්‍රශීලි රටවල්, යුරෝපා සංගමය යන සියලු දෙනා කියනවා මේ දේශපාලන අස්ථාවරභාවය රටට හානිදායකයි කියලා. අපි ඔබතුමන්ලට ආරාධනා කළා. එන්න ඇවිත් එකතු වෙන්න කියලා. එකතු වෙලා අන්තර් පාලනයක් කරමු කියලා. ඒකට කැමතිත් නැහැ. අපි කිව්වා ඒ පැත්තෙ ඉන්න දක්ෂ මිනිස්සු ඇවිත් භාර ගන්න කියලා. ඒකටත් කැමැති නැහැ.

එන්න කැමති නැත්නම් මම බය නැතුව එය භාර ගන්නවා. මට වැඩිය සුදුසු පුද්ගලයෝ ඇති. ඒ අපේ යුතුකම. අපි දේශපාලනයට ඇවිත් තිබෙන්නේ පෞද්ගලිකව හම්බ කරන්න නෙවෙයි. මේ මොහොතේ අපිට තිබෙනවා විශාල වැඩ කොටසක් කරන්න. මේ රට ඉතිහාසයේ පෙර නොවූ විරූ විදියට ආර්ථික අර්බුදයකට ලක්ව තිබෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස