හරක් කටාගෙන් රු. ලක්ෂ 1200ක් අල්ලස් අරන්… රඛිත සහ චරිත් අත්අඩංගුවට…!

June 25, 2026 at 11:33 am | by emanisa.lk

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුතා වන නීතිඥ රඛිත රාජපක්ෂ සහ හොරණ සමගි ජන බලවේග ආසන සංවිධායක චරිත් අබේසිංහ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘හරක් කටා’ නැමැත්තාගෙන් අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ යන අය පොලීසිය විසින් ඝාතනය කිරීම වැළැක්වීම සඳහාත්, ඔහුගේ රැඳවුම් නියෝග ඉවත් කර ගාල්ල බූස්ස අධි ආරක්‍ෂිත බන්ධනාගාරය හැර වෙනත් බන්ධනාගාරයක් වෙත යොමු කරදීම සඳහාත්, විමර්ශන කටයුතුවලින් සහ ඊට අදාළ කටයුතුවලින් නිදහස් කරදීම සඳහාත් මෙම අල්ලස් ලබාගෙන ඇති බව අනාවරණය වී තිබේ.

මෙම කටයුතු සඳහා 2023 වර්ෂයේ දී ඩුබායි රාජ්‍යයේදී හරක් කටාගේ බිරිඳ වන මධුෂිකා මධුවන්තිගෙන් රුපියල් කෝටි 50ක් අල්ලස් වශයෙන් ඉල්ලා පසුව එම මුදල රුපියල් කෝටි 20ක් දක්වා අඩුකර එම මුදලින් අත්තිකාරමක් වශයෙන් රුපියල් කෝටි 12ක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීම සම්බන්ධයෙන් රඛිත රාජපක්ෂට සහ චරිත් අබේසිංහට චෝදනා එල්ලවී ඇත.

ඒ අනුව මොවුන් දෙදනා සහ සිවිල් හා ගුවන් සේවා අධිකාරියේ ගුවන් තොටුපොළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන වරුෂ හැන්නදිගේ අරුණ ශ්‍රී චතුරංග යන අය ද අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *