ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ක්‍රියාත්මක කොට තිබෙන පාසල් ප්‍රතිව්‍යුහගත කිරීමේ ව්‍යාපෘතිය මගින් සිසුන් සියයට අඩු පිරිසක් අධ්‍යාපනය ලබන පාසල් දෙදහසක් වසා දැමීමේ සැලසුමක් ක්‍රියාත්මක බවට ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු චෝදනා කරයි.
මේ අනුව, එම වැඩසටහන යටතේ පසුගිය වසර තුන ඇතුළත සිසුන් සියයට වඩා අඩු පාසල් තුන්සියයක පමණ සංඛ්‍යාවක් වසා දමා ඇති බව ද හෙතෙම සඳහන් කළේ ය.
“පාසල් ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන හරහා පොකුරු පාසල් ක්‍රමයක්, ජාතික පාසල් ක්‍රමයක්, ජාතික පාසල්වලට අනුබද්ධ පෝෂිත පාසල් ක්‍රමයක් හදන බවට සැලසුම් ව්‍යාපෘතියේ යෝජනා කොට ඇතත් එසේ සංවර්ධනය කළ පාසල්වලට අවශ්‍ය සම්පත් ලබා දී නෑ.
මේ වන විට රට පුරා පාසල්වල ගුරුවරුන් හතළිස් දහසක හිඟයක් පවතිනවා. පාසල්වලට ගුරුවරුන් ලබා නොදී සිටීමේ උපක්‍රමයක් ලෙසට තමයි සිසුන් සියයට වඩා අඩුවෙන් සිටින පාසල් මෙසේ වසා දැමීමට කටයුතු කරමින් සිටින්නෙ. හුදෙකලා ගම්මානවල සිසුන් සියයකට වඩා අඩුවෙන් ඉගෙනුම ලබන මෙවැනි පාසල් විශාල සංඛ්‍යාවක් තිබෙනවා.
අධ්‍යයනයකින් තොරව එවැනි පාසල් වසා දැමුවොත් එම පාසල්වල ඉගෙනුම ලබන දරුවන්ට අධ්‍යාපනය අහිමි වෙනවා. හුදෙකලා ගම්මානවල ජීවත්වන ළමයින්ට කිලෝ මීටර් දහයක් දොළහක් පමණ යනතුරු පාසලක් සොයා ගැනීමට හැකියාවක් නෑ. ජාතික අධ්‍යාපන ප්‍රතිසංසකරණ ව්‍යාපෘති සැලැස්මේ තිබෙන හොඳ දේවල් ක්‍රියාත්මක නොකර ආර්ථික වශයෙන් ආණ්ඩුවට ආරක්ෂා වෙන්න හැකියාව තිබෙන දේවල් පමණයි මින් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන්නෙ.
මෙම ව්‍යාපෘති සැලැස්මේ තිබෙන මොඩියුල ක්‍රමය, දූරස්ථ අධ්‍යාපන ක්‍රමය හා ශිෂ්‍ය මූලික අධ්‍යාපන ක්‍රමය හා සම්බන්ධ අත්‍යවශ්‍ය යෝජනා පැත්තක දමා පාසල් වහන එක ප්‍රමුඛ දෙයක් බවට පත් කරගෙන සිසුන් සියයට වඩා අඩු පාසල් දෙදහසක් වහන්න කටයුතු කර ගෙන යනවා.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම අධ්‍යයනය කිරීමට විශාල මුදලක් වියදම් කර නිලධාරීන් විදේශ සංචාරවල පවා නිරතවී තිබෙනවා. ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලැස්මට අදාළ යෝජනා ඇතුළත් රුපියල් ලක්ෂ ගණනක් වැය කර සකස් කළ පොතක් විතරයි අන්තිමට ඉතිරි වී තියෙන්නෙ.”