තොරතුරු තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ අධ්‍යක්ෂ ශානි අබේසේකර කටයුතු නොකළ බවට චෝදනා කරමින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා සහ සේනක කුමාරසිංහ විසින් එම දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කර ඇත.
මෙම පැමිණිල්ලට අනුව විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන සහ විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරි සේනක කුමාරසිංහ මහත්වරුන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා (06) පැය 7ක් තිස්සේ ප්‍රකාශ ලබාගෙන තිබිණි.
පාස්කු ප්‍රහාරය එල්ල වන දිනය, එය එල්ල කිරීමට සූදානමින් සිටින පිරිස ඇතුළු වැදගත් තොරතුරු රැසක් එවකට පොලිස් බුද්ධි අංශ ප්‍රධානි නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා විසින් එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත දැනුම් දී තිබූ බව පාලිත සිරිවර්ධන කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.
එසේ තොරතුරු ලබා දී තිබියදීත් ප්‍රහාරයට සම්බන්ධ සහරාන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ අධ්‍යක්ෂ ශානි අබේසේකර යන මහත්වරුන් කටයුතු නොකළ බවට මෙම පැමිණිල්ල මගින් චෝදනා එල්ල කර ඇත.
එහෙයින් මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කරන ලෙස පාලිත සිරිවර්ධන සහ සේනක කුමාරසිංහ යන මහත්වරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් කරමින් ඉල්ලා තිබේ.