සිංහල හින්දු අලුත් අවුරුද්ද අදයි…! අවුරුදු නැකැත් සීට්ටුව මෙන්න..!

April 14, 2023 at 7:04 am | by emanisa.lk

සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීම හෙවත් සිංහල හින්දු අලුත් අවුරුද්ද අද(14) උදාවෙයි. මෙවර අවුරුදු නැකත් චාරිත්‍රවලට අනුව අද අපරභාග 2.59ට සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වෙයි.

පූර්වභාග 8.35 සිට අපරභාග 9.23 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පූර්වභාග 8.35ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම මැනවි.

ආහාර පිසීම නැකත යෙදී ඇති අපරාභාග 3.29ට විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා දීකිරි මිශ්‍ර කිරිබතක්ද තල සහ විලඳ මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙළ කරගැනීම මැනවි.

අපරභාග 5.05ට විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය සිදුකළ යුතු වෙයි. හිසතෙල් ගෑමේ චාරිත්‍රය අප්‍රේල් මස 16 වැනිදාට යෙදී තිබේ.

එදින පූර්වභාග 9.41ට යෙදෙන නැකතින් දකුණු දිශාව බලා හිසට ඉඹුල්පත් ද පයට නුගපත් ද තබා රතු සහ කහ මිශ්‍ර වර්ණ (තඹ පැහැති) වස්ත්‍රාභරණයෙන් සැරසී ඉඹුල් පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කළ යුතුයි.

රැකිරක්ෂා සඳහා පිටත්ව යාම අප්‍රේල් මස 17 වැනි සඳුදා පූර්වභාග 06.28ට ශ්වේත වර්ණ හෙවත් සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දීකිරි මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා පිටත්ව යෑම මැනවි.

පැළ සිටුවීම අප්‍රේල් මස 20 වැනි බ්‍රහස්පතින්දා පූර්වභාග 6.38ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැළ සිටුවීම මැනවි.

ඔබ සැමට සාමය සතුට සපිරි සුබ නව වසරක් වේවා!

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස