සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය කළා නම් මේ ආර්ථික අර්බුදය නෑ…! – පාඨලී….

December 30, 2022 at 8:07 pm | by emanisa.lk

බංග්ලාදේශයේ ඩකා නගරයේ දී පසුගියදා විවෘත කෙරුණු ආකාරයේ සැහැල්ලු දුම්රිය පද්ධතියක් ලබන වසරේ දී ශ්‍රී ලාංකිකයන්ට ලැබීමට තිබූ අවස්ථාව මුග්ධ ලෙස කටයුතු කළ නිලධාරීන් හා උගතුන් යැයි කියනා කිහිප දෙනෙකු එකතු වී ගෝඨාභය රාජපක්ෂ ලවා රටට අහිමි කරවූ බව 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

මෙයින් අහිමි වූ ආයෝජන ප්‍රමාණය, ඩොලර් බිලියන 8 කට ආසන්න බව කී හිටපු අමාත්‍ය රණවක, වසර 3 ක කාලය තුල එම මුදල් ලැබුණේ නම් වත්මන් ආර්ථිකය අර්බුදය ඇති නොවන බව ද ප්‍රකාශ කළේය.

කොළඹ නගරය අවට සැහැල්ලු දුම්රිය පද්ධති 4ක් සහ, මරදාන සිට හෝමාගමට ප්‍රධාන දුම්රිය නවීකරණ ව්‍යාපෘතියක් තමන් මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයාව සිටියදී සැලසුම් කළ නමුත් ඒ සියල්ල මුග්ධ තර්ක විතර්ක මැද 2020 දී නතර කළ බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එහි පළමු අදියර ලෙස මාළඹේ කොටුව කොරිඩෝව ඉදිකිරීමට ජපානයෙන් සියයට 0.1 පොලියට අවුරුදු 12ක ණය ආපසු ගෙවීමේ සහන කාලයක් ඇතිව තවත් අවුරුදු 40කින් ණය ගෙවීමට හැකි වන ආකාරයේ ණයක් දුන් බවත් හෙතෙම කීවේය.

එමෙන්ම බත්තරමුල්ලේ, කොළඹ කොටුවේ විශාල ප්‍රවාහන මූලස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කර තිබූ අතර, එයට ප්‍රංශ රජයෙන් නොමිලේ ප්‍රධානයක් ලැබුණු බව ද කී මන්ත්‍රීවරයා, මෙවන් ව්‍යාපෘති ගණනාවක් නතර කෙරුණු බවත් එය සහාසික අපරාධයක් බවත් පැවසීය.

සෞභාග්‍යයේ දැක්ම නමින් පැමිණි අය රටට බොහෝ දෑ අහිමි කළ බව කී රණවක මහතා අනාගතයේ යම් ස්ථාවරත්වයක් ඇතිවුවහොත් පමණක් මේවා ක්‍රියාත්මක වනු ඇති නමුත් එම ව්‍යාපෘති සඳහා බලය, ජවය සැපයූ වෘත්තීයවේදීන් සියලු දෙනාම මේ වන විට රට හැරගොස් ඇති බව කනගාටුවෙන් වුවත් ප්‍රකාශ කිරීමට සිදුව ඇතැයි ද කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *