සාම්පූර් බලාගාරය හැදුවා නම් කළුවරේ ඉන්න වෙන්නේ නෑ…! – නොරච්චෝලේ සාමාන්‍යාධිකාරී….

September 4, 2022 at 10:30 am | by emanisa.lk

නොරච්චෝල ගල් අඟුරු බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු මිල දී ගන්නේ 2021 වසරට වඩා අඩු මිලකට බවත් ඊට අඩුවෙන් කාට හෝ ගල් අඟුරු සැපයිය හැකි නම් ඉදිරිපත් වන ලෙස ඉල්ලා සිටින බවත් එහි සාමාන්‍යාධිකාරි නාමල් හේවගේ පවසයි.

ගල්අඟුරු ලබාගැනීම සඳහා කැදවූ ටෙන්ඩරයට ඉදිරිපත්වූ සමාගම් දෙකෙන් වාසි සහගත ලෙස ටෙන්ඩරය ඉදිරිපත් කළ සමාගම තෝරා ගත් බවත්, ඒ ගැන නිසි අධ්‍යයනයක් සිදුනොකර ඇතැමුන් චෝදනා කරන්නේ කාගේ අවශ්‍යතාවට ද යන්න තේරුම් ගතහැකි බවත් හෙතෙම කීය.

ගල් අඟුරු ලබාදීමට ඉදිරිපත්වී තිබෙන රුසියන් සමාගම මුදල් ගෙවීමට මාස හයක සහන කාලයක් දීමට සහ තැන්පත් මුදලක් නොමැතිව ගල් අඟුරු සැපයීමට ඉදිරිපත් වී සිටින බවත්, මේ වන විට එම ටෙන්ඩරයට කැබිනට් අනුමැතිය පවා ලැබී තිබෙන බවත් නාමලු හේවගේ පැවැසීය.

මේ වන විට නොරාච්චෝලේ බලාගාරයේ යන්ත්‍ර තුනෙන් යන්ත්‍ර දෙකක් ක්‍රියාත්මක වන බවත් ඊට අවශ්‍ය ගල් අඟුරු සංචිත ඔක්තෝබර් මැද පමණ වනතෙක් පවතින බවත් ඔහු කීය. එම සංචිත අවසන් වීමට පෙර ගල් අඟුරු ගෙන්වීම සිදුකළ යුතු බවත් ගල් අඟුරු නැවක් පැටවීම් සිදුකර මෙරටට පැමිණීමට දින 44ක් පමණ ගතවන බවත් හෙතෙම කීය.

ගල් අඟුරු මිලදී ගැනීම සඳහා වසර තුනකට එකඟතාවයකට පැමිණ තිබුණත් ඒවා මිලදී ගනු ලබන්නේ මිල සූත්‍රයකට අනුව බවත් ඒ මහතා කීය. රුසියාවෙන් ගල් අඟුරු මෙට්‍රික්‌ ටොන් එකක් ටෙන්ඩරයට වඩා අඩු මිලට ගතහැකි බව ඇතැමුන් විසින් ප්‍රකාශ කළත් අපේ බලාගාරයට ගැළපෙන ගල් අඟුරු මිලදී ගැනීමේදී මෙට්‍රික්‌ ටොන් එකක් සඳහා වැයවන මුදල ටෙන්ඩරයේ සඳහන්ව පවතින බව ද ඔහු කීය.

රුසියාව ඇතුළු රටවල් 16ක් සමග ගල් අඟුරු ලබාගැනීමට සාකච්ඡා කළ බවත් ඍජු මැදිහත් වීමකින් ගල් අඟුරු ලබාදිය නොහැකි බව රුසියානු රජය සහ චීනය ලිඛිතව දැනුම් දී තිබෙන බවත් ඔහු කීය. රටේ විදුලි කප්පාදුවක් සිදුවන්නේ රටට අවශ්‍ය විදුලි ධාරිතාව නිපදවා ගත නො හැකිවීම නිසා බවත් සාම්පූර් මෙගාවොට් 500ක බලාගාර ඉදිකර තිබුණා නම් මේ වනවිට රටට අවශ්‍ය විදුලිය කප්පාදුවකින් තොරව ලබාදීමට හැකියාව තිබුණ බවත් ඔහු කීය.

2016 වසරේ සාම්පූර් බලාගාරයේ ඉදිකිරීම් පසුගිය යහපාලන ආණ්ඩුව නතර කළ අතර ඒ නිසා 2021 වසර වන විට රටට රු. කෝටි 20 000ක පාඩුවක් සිදුව ඇති අතර ඩීසල් බලාගාර හිමියන් කෝටි 16 000කට අධික මුදලක් උපයා ගෙන තිබිණි. පරිසර සංවිධාන, කාදිනල්තුමා ඇතුළු කතෝලික පල්ලිය සාම්පූර් බලාගාරය ඉදිකිරීමට දැඩි ලෙස එරෙහි විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *