රටින් සහල් ගෙන්වීම වහා නවතනු..!- මෝල් හිමියෝ..

August 26, 2022 at 9:41 pm | by emanisa.lk

මෙරටට සහල් ආනයනය කිරීම වහා ම නතර කරන ලෙස මහා පරිමාණ මෝල් හිමියන් ඇතුළු සහල් ව්‍යාපාරිකයෝ කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීරගෙන් ඉල්ලීමක් කළහ.

වී මිල දී ගැනීම සම්බන්ධයෙන් කෘෂිකර්ම ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) පැවැති සාකච්ඡාවකදී මෙම ඉල්ලීම කළේ ය.

දෙසැම්බර් මාසය වන තෙක් පරිභෝජනය සඳහා රට තුළ ප්‍රමාණවත් තරම් සහල් තිබෙන බව ද ඔවුහු එහිදී ඇමැතිවරයාට පෙන්වා දුන්හ.

මෙම වසරේ මුල් මාස පහ තුළ මෙට්‍රික් ටොන් පනස් ලක්ෂ තිස්හතර දහසක සහල් ආනයනය කර ඇති බවත්, ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන සියයක මුදලක් රජය වැය කර ඇති බවත් සහල් මෝල් හිමියෝ අවධාරණය කළහ.

මෙම වසර අවසානය වන තෙක් සහල් ආනයනය අඛණ්ඩව කළහොත් සහල් මෙට්‍රික් ටොන් පනස් ලක්ෂ පනස් දහසක ප්‍රමාණයක් ඉක්මවනු ඇතැයි ද ඔවුහු පෙන්වා දුන්හ.

මෙම සාකච්ඡාවට ප්‍රධාන පෙළේ සහල් මෝල් හිමියන් ඇතුළු ව්‍යාපාරිකයෝ රැසක් එක්ව සිටියහ

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *