සහරාන් කල්ලියේ ප්‍රබල ත්‍රස්තයින් 21ක් අල්ලයි! සබඳතා පැවැත්වූ 700කගේ තොරතුරුත් එළියට!

December 7, 2020 at 2:25 pm | by emanisa.lk

ඉස්ලාම් ආගම වෙනුවෙන් දිවිපුදන බවට සහරාන් හෂීම් ඉදිරියේ ප්‍රතිඥා (බයිසත්) දුන් කාන්තාවන් ඇතුළු අන්තවාදයට සම්බන්ධ විසිඑක් දෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන පෙරේදා (5) කොළඹට රැගෙන විත් ඇත.

ඉන්දියාවේ සිට අයි.එස්.අයි.එස්. මතවාද ප්‍රචාරය කරමින් අන්තවාදී ප්‍රහාර මෙහෙය වන කණ්ඩායම් සමග සමාජජාලා මගින් මෙම පිරිස සම්බන්ධ වූ බව ද අනාවරණය වී ඇත.

මෙම කණ්ඩායම හැසිරවීමට සහරාන් හෂීම්ගේ වට්ස් ඇප් කණ්ඩායමේ නායකයා ලෙස (Admin) පත්කර ඇති විසිහැවිරිදි තරුණයා මුලින්ම කාත්තන්කුඩි ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබුණේ මීට සති කිහිපයකට පෙරය. අයි.එස්.අයි.එස්. මතවාද වපුරන මෙම සමාජ ජාලා සඳහා මොහු එක්ව ඇත්තේ වයස අවුරුදු 18දීය.

සහරාන් හසීම්ගේ ජංගම දුරකතනය සම්බන්ධව කළ දීර්ඝ විමර්ශනයකින් මෙම ජාලය ගැන තහවුරු කරගෙන ඇත. මෙ මගින් පුද්ගලයන් හත්සියයකට සම්බන්ධ අංක හෙළි වී තිබේ. ඉන්පසුව මෙම ජාලයේ මුල්පෙළ සාමාජිකයන් ලෙස අන්තවාදී මතවාද පැතිර වූ දාහතර දෙනෙකුද ඇතුළුව 21 දෙනා අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්නද අල්විස් යටතේ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස