සල්ලි අච්චු ගහන එක නතර කළා ම ගැටලු උග්‍ර වෙනවා…! ජුලි වෙද්දි ජීවත් වෙන්න බැරි තැනට වැටෙනවා..! – රනිල්…

April 11, 2022 at 5:25 pm | by emanisa.lk

මතුව තිබෙන දේශපාලන පෙරළිය හරහා නව බල කේන්ද්‍රයක් ගොඩනැගෙමින් තිබෙන අතර පැවති බල කේන්ද්‍ර හීන වෙමින් යන බවත් එය සම්ප්‍රදායික දේශපාලනඥයින් වටහා ගත යුතු බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ පවසයි.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් වික්‍රමසිංහ පවසන්නේ සිදුව ඇති දෙය දෙස බලන්නේ නම් ඇතිව තිබෙන හානිය මෙතෙකින් නොනවතින අතර සිදුව ඇත්තේ හානිය ආරම්භ වීම බවයි. ජූලි, අගෝස්තු මාසය වන විට බොහෝ දෙනාට ජීවත් වීමත් අපහසු තැනට පත්වන බව හෙතෙම කියා සිටියි.

“මේක වර්තමාන දේශපාලන ඉතිහාසයේ මේක විශාල දේශපාලන පෙරළියක්. මේ ආව සංඛ්‍යාව දිහා බලන්න එය විශාල සංඛ්‍යාවක්. මම හිතන්නේ නෑ දේශපාලන පක්ෂවලින් එහෙම ගෙනත් තියෙනවා කියල. කිසිම ලොරි, බස් නැතුව මෙතනට එක පණිවිඩයකින් ආවේ. ඉතා සාමකාමීව, කවුරුත් බීලා හිටියේ නැහැ. කෑගැහුවේ නැහැ. රතිඤ්ඤා පත්තු කළේ නැහැ. සාමකාමීව එක පණිවිඩයක් දෙන්න මෙතනට ආවේ. ඒ නිසා මෙතනින් සිදුවුණේ, ඒ වගේම නුවරත් තිබුණා. අනිත් ස්ථානවලත් තිබුණා. මෙතන සිදු වුණේ ඒ බලය තහවුරු කිරීම. අලුත් කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීම. පාර්ලිමේන්තුව, දේශපාලන පක්ෂ සිවිල් අංශයේ සංවිධාන දිහා බැලුවහම දැන් ඉදිරියට ඇවිත් තියෙන්නේ මේ කණ්ඩායම.

ඇයි ඉදිරියට ආවේ? ජනාධිපතිතුමාට ඉල්ලා අස්වෙන්න කිව්වා. ඒ ප්‍රතිචාරයට සෑහීමකට පත්වුණේ නැහැ. ගිය සතිය තුළ පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමය ගැනත් සෑහීමකට පත්වුණේ නැහැ. එහෙනම් තමන්ගේ බලයෙන් ඉදිරියට පැමිණිලා තියෙනවා. කවුද මේ බලවේගය? අපි මෙතන දකින්නේ විශේෂයෙන්ම තරුණ අය. මෙය පටන් ගත්තේ මධ්‍යම පන්තියේ ව්‍යාපාරයක් හැටියට. ඒත් ඉදිරියට ආවේ තරුණ අය. ඒ අය තමයි සංකේත වුණේ. ගොවි මහතුන් ඉන්නවා පොහොර නැතුව. ත්‍රීවිල් වගේ අනෙක් කුඩා ව්‍යාපාර කරන අය ඉන්නවා, රජයේ සේවකයන් ඉන්නවා. ඒත් සංකේතය තරුණයින්. මොකද තරුණයින් කියන්නේ අපට අපේ අනාගතය හදල දෙන්න කියල. ඔයගොල්ලන්ට කරන්න බැරිනම් අපි මේක කරන්නම් කියල පණිවිඩය තමයි මේ උද්ඝෝෂණවලින් රටේ දේශපාලන බලවතුන්ට ලබල දෙන්නේ.

දැන් තරුණයෝ පළමුවෙන්ම කියන්නේ ගෝඨා ගෙදර යන්න කියල. ගෝඨා තාම ගෙදර ගිහින් නැහැ. ගෙදර යවල තියෙන්නේ මං විතරයි. ඉතින් ඒ කාලේ දී මේවා ගැන හිතල බලන්න මට අවස්ථාව හම්බුණා. ඉස්සෙල්ලම බලන්න මොකද මේ වෙලා තියෙන්නේ කියල. අලුත් බල කේන්ද්‍ර ඇවිල්ලා. ඒ නිසා අනෙක් බල කේන්ද්‍ර බල හීන වෙලා. ඒක අපේ සම්ප්‍රදායික දේශපාලඥයින්ට වැටහෙන්න ඕනේ. මොකක්ද මේ රටේ වෙන්නේ කියල. අන්න ඒ කාරණය තමයි පළමුවෙන්ම තියෙන්නේ. ඒ කාරණය අපි වටහා ගන්නේ නැත්නම් අපිට ඉදිරියට යන්න බැහැ. මධ්‍යම පන්තිය කියන්නේ අපිව ආරක්ෂා කරලා දෙන්න. ගොවීන් කියනවා අපිට පොහොර ඕනේ කියල. නමුත් ආණ්ඩුවත් එය කරලා නැහැ. පාර්ලිමේන්තුවත් කරල නැහැ. අනෙක් අංශත් කරලා නැහැ.

මේ පෙරළිය විප්ලවයක්. ඒක නොකෙරුවොත් පුපුරනවා. අපිට වෙලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ ඉඳන් ආණ්ඩුව වෙනස් කරන්න අපි සාකච්ජා කරනවා, කුමන්ත්‍රණ කරනවා. ආණ්ඩු පෙරළියක් ඇති කරන්නයි පාර්ලිමේන්තුව බලන්නේ. ඒත් පිට ඉන්න මේ තරුණ පිරිස බලන්නේ දේශපාලන පෙරළියක් ඇති කරන්න. ව්‍යවස්ථා ගැනවත් මොනවත් ගැන සෑහීමකට පත්වෙලා නැහැ. පළමුවෙන් පාර්ලිමේන්තුව එකතු කරගන්න ඕනේ. අනිත් අය එකතු කරගන්න ඕනේ.

මේ ගමන ලේසි පහසු ගමනක් නෙවෙයි. මේ වෙලා තියෙන හානිය දිහා බලනවා නම් තාම මේ හානිය මෙතනින් ඉවර වෙන්නේ නැහැ. මෙය ආරම්භ වුණා විතරයි. ඇත්තවශයෙන්ම උද්ධමනය තව වැඩිවෙන්න ඕනේ. උද්ධමනය පටන් ගත්තම එකසැරේ ඉවර කරගන්න බැහැ. උණ ගැනුණා වගේ ඉහළටම ගිහින් තමයි පහළට එන්නේ. ජූලි, අගෝස්තු වෙනකොට ජීවත් වෙන්නවත් හුඟක් අයට අමාරු වෙන්න යනවා. තවත් ප්‍රශ්න එනවා. දැන් මුදල් මුද්‍රණය කරන එක නැවැත්තුවහම ඒකෙනුත් ප්‍රශ්න එනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස