සමනලවැව ජලාශයේ ජල කාන්දුවේ ජලය භාවිත කරමින් කුඩා පරිමාන විදුලි බලාගාරයක් ඉදිකිරිමට අවසර නොදීමට රත්නපුර දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී තීරණය විය.
රත්නපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අකිල එල්ලාවල මහතාගේ ප්රධානත්වයෙන් රත්නපුර දිස්ත්රික් ලේකම් කාර්යාල ශ්රවනාගාරයේ දී මෙම රැස්වීම පැවැත්විණි.
ලංකා විදුලිබල මණ්ඩලය නියෝජනය කරමින් පැමිණි නියෝජිතයා මෙහිදි සඳහන් කළේ සමනලවැව ජලාශයට පහළින් දැනටමත් බලාගාර දෙකක් ඉදිකර ඇති අතර තවත් බලාගාරයක් ජලාශයට ආසන්නයෙන් ඉදිකිරිමට අවසර ඉල්ලා ඇති බවයි.
එවැනි බලාගාරයක් ඉදිකිරිම සමනලවැව වේල්ලට හානි විය හැකි බවට එම නියෝජිතයා පෙන්වා දුන්නේ ය.
වසර දහ අටකට පසුව සමනල වැව ජලාශයේ උපරිම ජල මට්ටමට පැමිණ ගිය වසරේ පිරී වාන් දැමු බව ද කී එම නියෝජිතයා වාන් දමන ජලය පිටකරන ඇළ මාර්ගයේ මෙම කුඩා පරිමාන ජල විදුලි බලාගාරය ඉදිකිරිමට ජනපතිගේ, අගමැතිගේ සහ කැබිනට් මණ්ඩලයේ පවා අනුමැතිය හිමිව ඇති බව ද කීවේ ය.
පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටුව හමුවේ සමනලවැව ජලාශයේ ජල කාන්දුව කිසිදා වැසිය නොහැකි යැයි සාක්කි දුන් පුද්ගලික ආයතනයේ ඉංජිනේරුවරයා යෝජිත කුඩා පරිමාන විදුලි බලාගාරය ඉදිකිරීමේ කණ්ඩායමේ සාමාජිකයකු බව ද කීවේ ය.
එහෙත් පසුගිය වසරේ සමනලවැව ජලාශය පිරිමෙන් පසු මෙගවොට් 120ක විදුලිය ජනනය කර රුපියල් බිලියන හයක මුදලක් රටට ඉතිරිකර දිමට සමනලවැව ජලාශය නිසා හැකි විය. කිලොවොට් දෙසිය පනහක් තුන්සියයක් නිපදවන බලාගාරයකට සමනලවැව ජලාශය බිලි දිය යුතු නැතැයි ද හෙතෙම කීවේ ය.