ශ්‍රීලනිපය පාර්ලිමේන්තු ආවේ මහමේරු පර්වත වගේ..! දූෂණයට විරුද්ධ අපේ කටවල් පොහොට්ටුවට වහන්න බෑ…! අනාගත ශ්‍රීලනිප ආණ්ඩුවකින් නැවත ජාත්‍යන්තරය දිනා ගන්නවා..! – මෛත්‍රී…

January 17, 2022 at 8:28 am | by emanisa.lk

වංචා දූෂණවලට එරෙහිව කතා කරන විට සමහරු ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කටවලට ඉබ්බන් දමා, ඉබි යතුර බත්තරමුල්ල නෙළුම් මාවතේ පොහොට්ටුවේ පක්‍ෂ කාර්යාලයේ සේප්පුවේ දැමීමට උත්සාහ කරන්නේ යැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සභාපති හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන පවසයි.

හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ හම්බන්තොට දිස්ත‍්‍රික් සම්මේලනය අමතමිනි.

අඟුණකොළපෑලැස්ස පුරහලේදී පසුගියදා (15) මෙම සම්මේලනය පැවැති අතර වැඩි දුරටත් අදහස් දක්වමින් හෙතෙම මෙසේ ද කීය.

“අපේ පක්‍ෂය කටයුතු කරන්නේ මේ රටේ ආණ්ඩු කරපු පක්‍ෂයක් හැටියට ඉදිරියටත් ආණ්ඩු කිරීම සඳහායි. එක්සත් ජාතික පක්‍ෂය සමඟ ආණ්ඩු කරලා අපි දුර්වල වුණා. ඒකෙන් පොහොට්ටුව වැනි අලුත් පක්‍ෂ හැදුණා. හැබැයි රටේ ජනතාව කියන්නේ මාත් එක්ක ආණ්ඩු කරලා යූඑන්පිය දුර්වල වුණා කියලයි.

පසුගිය මැතිවරණයේදී අපි 14 දෙනෙක් පාර්ලිමේන්තු ගියා. 13 දෙනෙක් ඡන්දයෙන් පත්වුණා. ජාතික ලැයිස්තුවෙන් එක් අයෙක් ගියා. ඡන්දයෙන් 13 දෙනා පාර්ලිමේන්තු ගියේ මහාමේරු පර්වතය වගේ. අපි ආවේ මහමේරු පර්වතය දෙදරාගෙන නෙළුම් මල් 13 ක් පිපුණා වගෙයි. අපිට ගහන්න පුළුවන් හැම ගැහිල්ලම ගැහුවා. සමහරු වටකර ගෙන ගැහුවා. තව සමහරු එලව එලවා ගැහුවා. ඒ ගැහුවේ යූඑන්පී, ජේවීපී, සජබ අය නෙවෙයි, පොහොට්ටුවේ අය. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය බිංදුවට වට්ටන අරමුණින් ගැහුවා.

මැති ඇමැතිවරුන්ගේ ටෙලිෆෝන් චෙක් කරයි කියලා මගේ ආණ්ඩුවම කාලේ රනිල් වික‍්‍රමසිංහ පොලිසියේ කිහිපදෙනෙක් පාවිච්චි කරලා මහ බැංකු කොමිසමේ විමර්ශන කරපු, ටෙලිෆෝන් චෙක් කරපු කිහිප දෙනෙකුට විරුද්ධව විනය පරීක්‍ෂණ තිබ්බා. සමහරු ඉල්ලා අස්වෙලා ගියා. සමහරු මාව හමුවෙලා අපිව මරයිද කියලා ඇහුවා. සමහරු රස්සාවෙන් යන්න නැත්නම් පිටරටකට යන්න ඇහුවා.

මේ රටේ ජනතාව දූෂණයට වංචාවට එරෙහිව හොරු අල්ලන්න අවුරුදු 25 ක් තිස්සේ ආණ්ඩු හදලා තියෙනවා. 1977 ට කලින් මැතිවරණ ප‍්‍රකාශ අරන් බැලුවොත් කිසිම ආණ්ඩුවක ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක දූෂණ වංචා නැති කරනවා කියලා ප‍්‍රධාන සටන් පාඨයක් ඇතුළත් කර නැහැ. එහෙම දාන්න අවශ්‍යතාවක් තිබුණෙත් නැහැ. අද තියෙන තත්ත්වයෙන් ගොඩ එන්නෙ කොහොමද?

ජාත්‍යන්තර සම්බන්ධතා ඇති කරගන්න ඕන. ඒ අය පුද්ගලයන්ට නොවෙයි ආණ්ඩුවල ප‍්‍රතිපත්තිවලටයි ගරු කරන්නේ. 19 වැනි සංශෝධනය ඇති කරලා රජෙකුට තිබූ බලය මම නැතිකර ගත්තම ජාත්‍යන්තරයෙන් පිළිගැනීමට ලක්වුණා. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය බලයට පැමිණ නැවත ජාත්‍යන්තරයේ සහාය ඇති කර ගන්න අපට හැකියාව තියෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *