ශවේන්ද්‍රට කතා කළේ ගෝඨාභය නෙමෙයි… ෆීල්ඩ් මාර්ෂල් කට හින්දා නහිනවා… සුජාත පුත්‍රයන්ට මෙහෙම කරන්න බෑ…! – ආචාර්ය සරත් වීරසේකර…

February 19, 2026 at 7:10 pm | by emanisa.lk

ශවේන්ද්‍රට කතා කළේ ගෝඨාභය නෙමෙයි… ෆීල්ඩ් මාර්ෂල් කට හින්දා නහිනවා… සුජාත පුත්‍රයන්ට මෙහෙම කරන්න බෑ…! – ආචාර්ය සරත් වීරසේකර…

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ ප්‍රකාශය හේතුවෙන් ඔහු ඔහුගේ ප්‍රතිරූපයට බලවත් හානියක් කරගෙන ඇති බැව් මගේ හැඟීමයි. වරෙක ඔහු ගෝඨාභය රාජපක්ෂ, ත්‍රස්තවාදීන් සුදු කොඩි ඔසවා එන විට වෙඩි තබන්නැයි අණදුන් බව කියන අතර මෙහිදී ගෝඨාභය සතුරාට යටත් වෙන්න කියන විට තමා ඔවුන්ව විනාශ කළා යැයි පවසයි.

දෙමළ බෙදුන්වාදී ඩයස්පෝරාව ෆොන්සේකාගේ මෙම ප්‍රකාශය පිළිබඳව කුමක් කියන්නේදැයි අප බලා සිටිමු. එසේම දෙමළ කොටි ත්‍රස්තවාදීන්ට මහින්ද රාජපක්ෂ යටත් වෙන්ට කියන විට තමා ඔවුන්ව විනාශ කළා යැයි කියන සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයේදී මහින්ද පරදා උතුර ජයග්‍රහණය කළේ කෙසේදැයි විමසා බැලීමද වටී.

යුද්ධයකදී එක් පාර්ශවයක් “යටත් වීම” යනු පිළිගත් න්‍යායකි. යටත් වීම සහ සාම සාකච්ඡා හෝ සටන් විරාම යනු එකක් නොව දෙකකි. සතුරා යටත් වන්නේ එම පිරිස තව දුරටත් අනිවාර්යයෙන් ඝාතනය වීම වළක්වනු පිණිසය. ප්‍රභාකරන් කෙදිනකවත් යටත්වීම ප්‍රතික්ෂේප කළ අයෙකි. නමුත් බටහිර රටවල් තමන්ව අවසන් මොහොතේ හෝ ගලවා ගනීවියැයි ඔහු තදින් විශ්වාස කළේය.

ෆොන්සේකා පෙන්වන වීඩියෝවේ ශවේන්ද්‍ර සිල්වාට දුරකථන ඇමතුම එන්නේ ආරක්ෂක ලේකම් ගෝඨාභයගෙන් නොවේ. බොහෝ විට එය වෙනත් පාර්ශ්වයක නිර්දේශයක් විය හැකිය. විදේශීය සම්බන්ධතා ද තිබූ ප්‍රභාකරන් දියත් කළ වසර තිහක යුද්ධය අවසානයේ “යටත් වීම” යනු හමුදා බල සේනා ප්‍රධානියකුට වඩා ඉහළින් බොහෝ විට රාජ්‍ය සහ විදේශීය මැදිහත්වීමකින් වන දෙයක් මිස වීඩියෝ පටයේ පෙන්වන අයුරින් කළ හැකි සරල ක්‍රියාවක් නොවේ.

මාවිල්ආරු සිද්ධියෙන් පසු තම ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ත්‍රස්තවාදය යුද්ධයෙන්ම නිමකළ යුතු බවට මහින්ද රාජපක්ෂ ජනාධිපති දැඩි තීරණයක් ගෙන තිබිණ. ප්‍රංශය සහ එංගලන්තයේ විදේශ ඇමතිවරුන් මහින්ද රාජපක්ෂ හමුවී යුද්ධය නවතන ලෙසට ඉල්ලා සිටියත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. රොබට් බ්ලේක්, එවක ලංකාවේ ඇමරිකානු තානාපති, බෝගොල්ලාගම විදේශ ඇමති හරහා ජනාධිපතිට ඒ හා සමාන ඉල්ලීමක් කළත් එයද මහින්ද රාජපක්ෂ ප්‍රතික්ෂේප කළේය.
ජය ශංකර් මෙනන් ඉන්දියානු විදේශ ඇමති සහ ආරක්ශක ප්‍රධානී නාරායන් යුද්ධය නවත්වන ලෙස ඉල්ලනු පිණිස ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදී “ඔබලා ආවේ නැවත පරිප්පු දාන්නද?” යැයි විහිලුවෙන් ඇමතූ ජනපති ඔවුන්ට කීවේ අවසාන මොහොතේ අපි කිසිදු බර අවියක් පාවිච්චි කරන්නේ නැහැ සුළු අවි පමණයි අවසාන මෙහෙයුමට යොදාගන්නේ යනුවෙනි. තමිල්නාදුවේ මාරාන්තික උපවාසයක යෙදී සිටි කරුණානිධි තම උපවාසය අත්හැරියේ ඉන්පසුව බව දැන ගන්නට ලැබුණි.

යුද්ධය අවසන් වූ විගස ජිනීවා වල යුරෝපීය රටවල් සහ ඇමෙරිකාව අපට විරුද්ධව සාවද්‍ය යුධ අපරාධ චෝදනා ගෙනාවේ රාජපක්ෂ ඔවුන්ට දුන් එම “අතුල් පහර” හේතුවෙනි. මහින්ද රාජපක්ෂ බලයෙන් පහකිරීමට පවා කුමන්ත්‍රණය ආරම්භ වූයේ ඒ නිසාය. තමාගේ ජනතාවගේ ආරක්‍ෂාව වෙනුවෙන් තම දේශපාලනය ජීවිතය පරදුවට තබා යුද්ධය නිම කොට රටත් සංවර්ධනය කළ මහින්ද රාජපක්ෂව එදා අරගලය අවස්ථාවේදී මැරයින් අතින් ඝාතනය වූවා නම් ලෝකයේ කුහකම සහ ගුණමකුම ජනතාවක් සිටින රටක් ලෙස ලංකාව ඉතිහාසගත වීමට තිබුණි.

ලෝක යුද්ධයක් ජයග්‍රහණය කළ වින්ස්ටන් චර්චිල් පවා මැතිවරණයේදී පරාජය විය. මහින්ද රාජපක්ෂ මැතිවරණයෙන් පරාජය වීම ප්‍රශ්නයක් නොවේ. නමුත් ලාංකික සියලුම ජනතාවට අදටත් බියෙන් සැකෙන් තොරව ජීවත්වීමට, තම දේශපාලන ජීවිතය පරදුවට තබා, වසර තිහක කුරිරු යුද්ධය නිමකළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට කවුරුන් හෝ අපහාස කරයි නම් ඔහු “සුජාත” පුත්‍රයෙක් නම් විය නොහැක.

-රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර-
(හිටපු නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි)
(හිටපු සිවිල් ආරක්ෂක බලකා අධ්‍යක්ෂ ජනරාල්)

FB

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස