“මුළු රටම හරි මඟට” ජාතික ප්රකාශනය එළිදැක්වීම හරහා ඒකරාශී වූ රජයට සම්බන්ධ පක්ෂ 11න් පක්ෂ 4ක් මේ වන විට එම එකඟතාවයෙන් බැහැර වෙමින් සිටින බව වාර්තා වෙයි.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, යුතුකම ජාතික සංවිධානය, ශ්‍රී ලංකා මහජන පක්ෂය හා එක්සත් මහජන පක්ෂය යන පක්ෂ මේ වන විටත් හවුල්කාර පාර්ශ්වයන්ගෙන් තොරව තීන්දු තීරණ ගැනීම අරඹා තිබේ.
පසුගිය 16 වැනිදා කොළඹ එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේ පැවැති ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ එකතුවේ හමුවට එම පක්ෂ හතරේ කිසිවකු පැමිණ සිටියේ ද නැත.
පක්ෂ 11 අතුරින් වැඩිම මන්ත්‍රීවරුන් පිරිසක් නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිසිවකු පළමු හමුවෙන් පසුව අදාළ පාර්ශ්ව සංවිධානය කරන කිසිදු හමුවකට සම්බන්ධ නොවීය.
කෙසේ වෙතත් ආණ්ඩුවට එරෙහි අරගලයන් තව දුරටත් සිදු කරන බවත්, ඉදිරි මැතිවරණවලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්ව තරග නොකිරීම පිළිබඳව තවමත් තීරණයක් ගෙන නොමැති බව ද ඔවුහු කීහ.
ජාතික නිදහස් පෙරමුණ, ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, අපේ ජන බල පක්ෂය යන දේශපාලන පක්ෂ ද මේ වන විටත් තීරණය කර ඇත්තේ පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීමට මිස විපක්ෂය හා එක් නොවීමටය.
ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්රමගෙන් කළ විමසීමක දී ඔහු පැවසුවේ ජලසම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර තම නිල වාහන ආපසු බාර දී ඇතත් සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය, නිල වාහන, දුරකථන පහසුකම් ඇතුළු රජයේ සියලු පහසුකම් භාවිත කරන බවය.
සිළුමිණ