වැඩි මිලට අලෙවි කිරිම සදහා නිවසක ඉතා සුක්ෂම ලෙස සඟවා තිබු ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 230 ක් අද (15) පස්වරුවේ සොයාගත් බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති විරාජ් විතානගේ මහතා පැවසිය.
ගැස් සිලින්ඩර් සඟවා තැබිමේ චෝදනාව යටතේ නිවසේ හිමිකරු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
ගිනිගත්හේන අඹගමුව ශාන්ත ජනපදයේ නිවසක ලිට්‍රෝ ගැස් සිලින්ඩර් තොගයක් සගවා ඇති බවට ලද තොරතුරක් මත නුවරඑලිය පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින්ගේ ද සහයෝගය ඇතිව මෙම වැටලිම සිදු කර ඇත.
මෙම වැටලිමේදී කිලෝ 12.5 ලිට්‍රෝ ගෘහස්ථ ගැස් සිලින්ඩර් 177 ක්, කිලෝ 5 ගැස් සිලින්ඩර් 28ක් සහ කිලෝ 2.4 ගැස් සිලින්ඩර් 25 ක් සෙයාගත් බව ස්ථානාධිපතිවරයා කියා සිටියේය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නාවලපිටිය ගම්පොල ප්‍රධාන මාර්ගයේ පිහිටි ලිට්‍රෝ ගැස් සමාගමේ නාවලපිටිය අලෙවි නියෝජිතයා වන අතර ඔහුට නිකුත් කරන ලද ගැස් තොගය පාරිභෝගිකයන්ට අලෙවි නොකර සිය නිවසේ සඟවා වැඩි මිලට අලෙවි කර ඇති බව දැනට කරන ලද මුලික විමර්ෂණවල දී අනාවරණය වි ඇත.