ඉදිරි කාලසීමාව තුළ වාහන මිලෙහි යම් ඉහළ යාමක් සිදුවිය හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතයන් සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා අද පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.
පනවා ඇති නව බදු හේතුවෙන් වෙළඳපොළ තුළ වාහන මිල කෘතිම ලෙස ඉහළ යා හැකි බව අධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මෙලෙස ඉහළ ගිය මිල ගණන් යටතේ වාහන මිලදී ගැනීම සඳහා බැංකු ණය ලබාගන්නා පුද්ගලයන්, ඉදිරියේදී අනවශ්‍ය ණය බරකට ලක්වීමේ දැඩි අවදානමක් පවතින බව ඔහු අවධාරණය කළේය.
මෙම තත්ත්වය ණය ලබාගන්නා පුද්ගලයාට මෙන්ම බැංකු පද්ධතියට ද බලපාන බවත්, විශේෂයෙන් වාහන සඳහා ලබාදෙන ණය ආපසු ගෙවීමට නොහැකි වීමෙන් බැංකුවල අක්‍රීය ණය ප්‍රමාණය ඉහළ යා හැකි බවත් අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
එම අවදානම කළමනාකරණය කිරීම සඳහා මහ බැංකුව විසින් විශේෂ මූල්‍ය පියවර ගෙන ඇති බව හෙළි කළ අධිපතිවරයා, වාහන සඳහා වන ණය අවදානම් අනුපාතය 150 දක්වා සංශෝධනය කර ඇති බව පැවසීය. රත්රන් සහ වාහන වැනි වත්කම්වල මිල අධික ලෙස උච්චාවචනය වන බැවින්, මිල වැඩි කාලයකදී ලබාගන්නා ණය, මිල අඩු වූ විට ගෙවා ගැනීමට නොහැකි වීම වැළැක්වීම මෙම පියවරේ අරමුණයි.
විදේශ විනිමය වෙළඳපොළ පාලනය කිරීමට වඩා, ණය ලබාගන්නා පුද්ගලයා සහ බැංකු පද්ධතිය යන දෙපාර්ශවයේම මූල්‍ය ස්ථාවරත්වය සහ ආරක්ෂාව තහවුරු කිරීම මෙම තීරණවල මූලික පරමාර්ථය බව අධිපති නන්දලාල් වීරසිංහ මහතා කියා සිටියේය