රුපියල් මිලියන 75කට ආසන්න වත්කම් සහ මුදල් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වූ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහි නඩුව කැඳවීම සඳහා කඩිනම් දිනයක් ලබා දෙන ලෙස අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණයෙන් ඉල්ලිමක් සිදුකර තිබේ.
අදාළ නඩුව අද (16) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනසේන මෙනවිය පෙන්වා දුන්නේ මෙම නඩුව 2017 වසරේ ගොනු කර තිබුණ ද එහි විභාගය මේ දක්වා ආරම්භ කිරීමට නොහැකි වී ඇති බවය.
නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකාර විමල් වීරවංශ අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර තම සේවාදායකයාට වෛරස් උණ රෝගයක් වැළඳී ඇති බව ඊට අදාළ වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරමින් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පැවසීය.
ඒ අනුව මෙම නඩුව යළි ජුලි මස 17 වෙනිදා කැඳවන ලෙස නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එදින අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වා විමල් වීරවංශ වෙත නොතීසි නිකුත් කරන ලෙස ද නියම කර තිබේ.
2010 වසරේ සිට 2015 වසර දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරමින් සිටියදී රුපියල් මිලියන 75 කට ආසන්න වත්කම් සහ මුදල් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් විමල් වීරවංශට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.