විදුලිබල සැපයුම, රෝහල්වල සාත්තු නිවාසවල හෝ ඊට සමාන ආයතනවල රෝගී නඩත්තුව, පෝෂණය කිරීම රැක බලා ගැනීම යනාදී කටයුතු අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත.
එම කටයුතු මහ ජනතාවගේ අවශ්‍යතාව වෙනුවෙන් බාධාවකින් තොරව පවත්වා ගෙන යෑමේ අරමුණින් මෙම ගැසට් නිවේදනය නිකුත් කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.
වැඩ වර්ජන හේතුවෙන් විදුලි බල සහ සෞඛ්‍ය ක්ෂේත්‍රවල කටයුතුවලට පසුගිය සතිය පුරා විවිධ බාධා එල්ල විය. මේ නිසා ජනතාව දැඩි අපහසුතාවට ගොදුරු විය. මේ නිසා ම වර්තමාන හෙද වර්ජනයට එරෙහිව අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කර තිබේ.
