වර්ජනයේ ප්‍රතිඵල විසිහතර පැයෙන් මහජන බැංකුවට…! රාජ්‍ය සහ පෞද්ගලික ගිණුම් දහස් ගණනක් පෞද්ගලික බැංකුවලට…?

March 16, 2023 at 12:43 pm | by emanisa.lk

මහජන බැංකුවේ පවතින ගිණුම් වහාම වෙනත් බැංකු වෙත මාරු කිරීමට කටයුතු කරන බව රජයේ සියලු ම සංස්ථා සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් මුදල් අමාත්‍යංශය වෙත දැනුම් දී තිබේ.

මීට අමතරව පෞද්ගලික ව්‍යාපාරිකයන් රැසක් ද මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත වාචිකව දැනුම් දී ඇත්තේ කනගාටුවෙන් වුවද සිය ගිණුම් මහජන බැංකුවෙන් ඉවත් කර ගැනීමට සිදුවනු ඇති බවයි.

වැඩ වර්ජන ආදිය නිසා දිගින් දිගට ම ගැටළු මතු වුවහොත් සිය ව්‍යාපාරික කටයුතුවලට බලපෑම් එල්ල විය හැකි බැවින් කනගාටුවෙන් වුවද තම ගිණුම් මහජන බැංකුවෙන් ඉවත් කර ගැනීමට සිදුවනු ඇතැයි ව්‍යාපාරිකයන් මෙලෙස ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

මහජන බැංකුවේ සේවකයන් ද ඊයේ (15) පැවැති වර්ජනයට එකතුවීම හේතුවෙන් සිය මූල්‍ය කටයුතු පවත්වාගෙන යාමට නොහැකිවීමෙන් ගැටළු රැසකට මුහුණදීමට සිදුවූ බව සංස්ථා හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් මුදල් ඇමති වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත දන්වා ඇත.

රජකාරි කටයුතු වෙනුවෙන් මහජන බැංකු වෙත ගිය සේවකයන්ට අවශ්‍යතා වෙනුවෙන් මුදල් ගැනීමට නොහැකි වූ බවත් එම නිසා වෙනත් විකල්ප මාර්ග සෙවීමට සිදුවීමෙන් සේවාදායකයින් අපහසුතාවට පත්වූ බවත් රාජ්‍ය සංස්ථා හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් මුදල් අමාතයාංශයට පැහැදිලි කර දී තිබේ.

එම නිසා අත්‍යවශ්‍ය කටයුත්තක් ලෙස සලකමින් සිය ගිණුම් මහජන බැංකුවෙන් ඉවත් කොට වෙනත් බැංකු වෙත මාරු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද සංස්ථා හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලා ඇත.

රජයේ සංස්ථා හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර කටයුතු කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස අද (16) මුදල් අමාත්‍යාංශයේ දී අදාල බලධාරීන්ට දැනුම් දුන්නේය.

lankadeepa

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *