අවුරුදු උත්සවවල දී රටේ සංස්කෘතික හර පද්ධතීන්ට නොගැළපෙන විකෘති ක්‍රීඩා අංග එක් කිරීම පිළිබඳ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති අතර ඒ සම්බන්ධව ඉදිරියේ දී දැඩි පියවර ගන්නා බව සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක පවසයි.
පසුගිය අලුත් අවුරුදු සමයේ දිවයිනේ විවිධ ප්‍රදේශවල සංවිධානය කර තිබූ අවුරුදු උත්සවවල දී ලිංගිකත්වය ඉස්මතු වන ආකාරයෙන් එම උත්සවවලට නොගැළපෙන ක්‍රීඩා අංග එක් කර තිබූ අයුරු දක්නට ලැබුණු අතර සමාජ මාධ්‍යවලද එම දර්ශන ඇතුළත් විඩියෝ පට සංසරණය විය. මේ සම්බන්ධව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට පැමිණිලි ලැබී ඇත.
එවැනි විකෘති ක්‍රීඩා අංග සංවිධානය කර තිබූ අවුරුදු උත්සව පිළිබඳ සංස්කෘතික අමාත්‍යාංශය මේ වන විට තොරතුරු සොයමින් සිටියි. මෙවැනි විකෘති ක්‍රීඩා අංග අවුරුදු උත්සවවලට එක්කිරීමෙන් සිදුවන්නේ මෙරට තරුණ පිරිස සංස්කෘතික අනාථයන් බවට පත්වීම බව ද ඇමැතිවරයා කීය.