රට පාලනයේදී ජනතාවගේ නිදහස සහ අපේක්ෂා තහවුරු කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයෙන් බැහැර නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.
එහෙත් ඉන් ලැබෙන නිදහස වැරදි ලෙස පාවිච්චි නොකරන්නැයි ජනාධිපතිවරයා සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියි.
මහවැලි රන්බිම ඔප්පු ලක්ෂයක් බෙදාදීමේ වැඩසටහනේ අද (26) පෙරවරුවේ ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ පැවති සමාරම්භක උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
විදේශ විනිමය නොමැතිවීම වර්තමානයේ මුහුණ දීමට සිදුව ඇති ප්‍රධාන ගැටළුවක් වන අතර කොවිඩ් වසංගතය හේතුවෙන් සංචාරක හා විදෙස් රැකියාවලින් ලැබෙන විනිමය අහිමි වීම ඊට ප්‍රධාන හේතුවක් බවයි, ජනාධිපතිවරයා සඳහන් කළේ.
පෙර රජයන් ගත් ණය පොළී සමඟ ගෙවීමට සිදුව තිබෙන බවත් මේ ගැටලු තමාගේ හෝ රජයේ වැරදි මත සිදු වූවක් නොවන බවත් හෙතෙම අවධාරණය කරයි.
පවතින අභියෝග සඳහා මුහුණ දීමට විපක්ෂයත්, ජනතාවත්, රජයත් එක්ව වැඩ කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා තවදුරටත් පැවසුවේ කඩාකප්පල්කාරී වැඩවර්ජන, බොරු ප්‍රචාර ගෙන යාම වගකිව යුතු කිසිදු පාර්ශ්වයකින් අපේක්ෂා නොකරන බවයි.