රටේ කුඹුරුවලින් 1/3ක් වගා කිරීම නතර කළ යුතු බව කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල්කාන්ත පසුගියදා ආන්දෝලනාත්මක ප්‍රකාශ කළේය.
ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දුන්නේ රටේ සහල් නිෂ්පාදනය ඉල්ලුමට වඩා බෙහෙවින් වැඩි බවයි. කුඹුරු වගාව අඩු නොකළහොත් ගොවියාද කෘෂි කර්මාන්තයද රටේ ආර්ථිකයද දැඩි අවදානමකට ලක්වන බවටද කෘෂිකර්ම ඇමතිවරයා අනතුරු ඇඟවූයේය.
කෙසේ වුවද මුදල් අමාත්‍යංශ දත්ත විමසීමේදී පැහැදිලි වන්නේ රටේ සහල් අතිරික්තයක් ඇති වීමට අධික සහල් ආනයනයද හේතු වී ඇති බවයි. මුදල් අමාත්‍යංශ වාර්තා අනුව 2025 වසරේදී ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් 184 750ක් ආනයනය කර ඇත. එය 2024 වසරේ ආනයනිත මෙට්‍රික් ටොන් 131 338ට සාපේක්ෂව 40.7%ක ඉහළ යෑමකි.
එසේම 2026 වසරේ මුල් මාස හය තුළ සහල් මෙට්‍රික් ටොන් 162 171ක් ආනයනය කර ඇති අතර ඒ සඳහා ඇ.ඩො. මිලියන 90.3ක් වැය වී ඇත. මෙලෙස ආනයනිත සහල් අතර සම්බා සහ නාඩු සහල් ඇතුළත්ය.