විදුලි බල හා බල ශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සිය නිල ෆේස්බුක් ගිණුමේ තබන ලද සටහනක් පහත දැක්වෙයි.
විදුලිබල මණ්ඩලයේ සේවකයන් ලබාගෙන ඇති මූල්‍ය පහසුකම් සම්බන්ධයෙන් සහ විදුලිබල මණ්ඩලයට නව සේවකයන් බඳවාගැනීම සම්බන්ධයෙන් තොරතුරු වාර්තාකරන ලෙස මීට දෙසතියකට පෙර මා විසින් විදුලිබල මණ්ඩලයේ කළමනාකාරීත්වයෙන් ඉල්ලීමක් කරන ලදි.
විදුලිබල මන්ඩලයේ මූල්‍ය අංශය මා වෙත යොමුකරන ලද තොරතුරු අනුව විදුලිබල මණ්ඩලයේ සේවකයන් ලබාගෙන ඇති ණය පහසුකම්වල ප්‍රමාණය රුපියල් බිලියන 12ක් පමණ වන අතර ඒ සඳහා වන පොලියෙන් 2/3ක් විදුලිබල මණ්ඩල විසින්ම ගෙවීම සිදුකරයි. විදුලිබල මණ්ඩලය තම සේවකයන්ගේ ණය පොලී වෙනුවෙන් ගෙවන මුදල් අයවන්නේද මහ ජනතාවගේ විදුලි බිලෙනි.
විදුලිබල මණ්ඩලයේ සේවකයන් ලබාගෙන ඇති මූල්‍ය පහසුකම්වල පොලී ගෙවා දැමීම සඳහා වන මුදල් මහ ජනතාවගේ විදුලි බිලෙන් අයකර ගැනීම නවතා දමා, ණය හිමියන්ගෙන් ඒවා අයකරගැනීමට ක්‍රමවේදයක් සකස්කරන ලෙස විදුලිබල මණ්ඩලයේ කළමනාකාරීත්වයට උපදෙස් ලබාදෙන ලැබුණි.
එමෙන්ම කාර්යක්ෂමතාව වැඩිකර ගනිමින් වියදම් අඩු කිරීම සඳහා බාහිර පාර්ශ්ව වෙත ලබාදීමට හැකි සේවාවන් සම්බන්ධයෙන් ද වාර්තාවක් සපයන ලෙස ද දන්වන ලැබුවේය.