ලංකාවේ අධික වාහන බද්දට ඇමරිකාව එරෙහි වෙයි… ලෝක වෙළඳ සංවිධානයටත් පැමිණිලි කරයි…!

July 4, 2026 at 10:31 am | by emanisa.lk

ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීමේදී පනවා ඇති බදු සහ තක්සේරු කිරීමේ ක්‍රමවේදය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට පටහැනි බවට ඇමරිකා එක්සත් ජනපදය විසින් ලෝක වෙළඳ සංවිධානය (WTO) වෙත පැමිණිලි කර තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කළේය.

මෝටර් රථ ආනයනයේදී විවිධ බදු වර්ග එකතු වූ විට එය සමස්තයක් ලෙස සියයට 250ක් වැනි ඉහළ ප්‍රතිශතයක් ගන්නා බව මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේය.

මෙම අධික බදු මුදල් ගෙවීම මඟහැරීම සඳහා ඇතැම් පිරිස් වාහනවල වටිනාකම සැබෑ අගයට වඩා අඩුවෙන් ප්‍රකාශ කිරීමට උත්සාහ කරන බව ද ඔහු සඳහන් කළේය.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා 2016 වසරේ සිට රජය විසින් වාහනවල වටිනාකම සියයට 85ක් ලෙස තක්සේරු කිරීමේ විශේෂ ක්‍රමවේදයක් හඳුන්වා දී තිබිණි.

ඇමරිකාව සිය පැමිණිල්ල මගින් අවධාරණය කර ඇත්තේ, ශ්‍රී ලංකාව අත්සන් කර ඇති ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම්වලට මෙම ක්‍රමවේදය පටහැනි බවයි.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි මෙම බදු ක්‍රමවේදය සංශෝධනය කළහොත් රජයට ලැබෙන බදු ආදායම යම් ප්‍රමාණයකින් අහිමි වීමේ අවදානමක් පවතින බව ද ඔහු පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *