රේගුව දිගටම අකුරට වැඩ! අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යන ලකුණු!

February 2, 2019 at 6:49 am | by admin

මුහුදු මාර්ගයෙන් ආනයනය කෙරෙන සියලු භාණ්ඩ සඳහා සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයෙන් බලපෑම් එල්ලවී ඇතැයි රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ ලේකම් විපුල මිනුවන්පිටිය මහතා පවසයි. ඔහු සඳහන් කළේ, අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා සමස්ත රේගු කාර්ය මණ්ඩලයම එක් ව සිටින බවය.

මේ අතර මුදල් අමාත්‍යවරයා රේගු නිලධාරීන්ට දැනුම් දී ඇත්තේ, අධ්‍යක්ෂ ජනරාල්වරිය මාරු කිරීම අමාත්‍ය මණ්ඩලයේ තීරණයක් බවත් වහාම සේවයට වාර්තා කරන ලෙසත්ය.

කෙසේ වෙතත් රේගු නිලධාරීන් අවධාරණය කරන්නේ සිය ඉල්ලීම් සඳහා සාධාරණ විසඳුම් ලැබෙන තෙක් තමන් අඛණ්ඩව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි.

රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරයට විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙකු පත් කිරීමට එරෙහිව රේගු නිලධාරීන් පසුගිය බදාදා පස්වරුවේ වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කරනු ලැබූ අතර ඊට පසු වැඩ බලන රේගු අධ්‍යක්ෂවරයකු පත් කළ ද රේගු නිලධාරීහු එම පත්වීමටද එරෙහි වූහ.

මේ අතර රේගු නිලධාරීන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක් ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා වෙළෙඳුන්ගේ සංගමය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක හේමක ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක් මේ වන විට රේගුවේ ගොඩගැසී ඇති බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *