රුවන්වැලි සෑ උපවාසයට මැර ප්‍රහාරයක්… රාජාංගනේ හිමිගේ දේහයේ ලේ සෙලවෙයි… කස්සප හිමි පොලිසිය උස්සං යයි…!

November 12, 2026 at 3:43 pm | by emanisa.lk

අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්මට අදාළ ගැසට් පත්‍රය වහා අහෝසි කරන ලෙස බලකරමින් ඓතිහාසික රුවන්වැලි මහා සෑ පරිශ්‍රයේ උපවාසයේ නිරත භික්ෂූන් වහන්සේලා වැඩසිටින ස්ථානයට වෙනත් පාර්ශ්වයක පිරිසක් පැමිණීම හේතුවෙන් අද (12) දහවල් එම ප්‍රදේශයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.

යෝජිත සංවර්ධන ව්‍යාපෘතියට සහ ඊට අදාළ ගැසට් නිවේදනයට විරෝධය පළ කරමින් පූජ්‍ය බලංගොඩ කාශ්‍යප හිමි ඇතුළු මහා සංඝරත්නය පිරිසක් පසුගිය දින කිහිපය පුරා රුවන්වැලි මහා සෑය අභියස සත්‍යග්‍රහයක සහ මාරාන්තික උපවාසයක නිරතව සිටිති.

එම ස්ථානයට පැමිණි වෙනත් පිරිසක් සහ උපවාසයේ නිරත පාර්ශ්වය අතර ඇතිවූ මතභේදාත්මක තත්ත්වයත් සමඟ එම පරිශ්‍රය උණුසුම් වූ අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය සහ ආරක්ෂක අංශ වහා මැදිහත් වී පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා තුන් නමක් පොලිස් භාරයට ගෙන තිබේ.

රුවන්වැලි මහා සෑය සහ ජය ශ්‍රී මහා බෝධිය ආශ්‍රිත පූජා භූමිය තුළ සැදැහැවතුන්ට බාධා වන අයුරින් තාවකාලික කූඩාරම් ඉදිකරමින් රැඳී සිටීම වළක්වමින් සහ එම ස්ථානයෙන් ඉවත් වන ලෙස දන්වමින් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගියදා බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස වෙත නියෝගයක් ද නිකුත් කර තිබිණි. එහෙත් එම නියෝග නොතකා උන්වහන්සේලා විරෝධතාව අඛණ්ඩව පවත්වාගෙන ගියහ.

මීට අමතරව, ත්‍රිකුණාමලයේ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීම සම්බන්ධ නඩුවකට අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් කස්සප හිමියන්ට එරෙහිව ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය 11 වැනිදා වරෙන්තුවක් ද නිකුත් කර තිබූ අතර, මීට පෙර කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ පැවති විරෝධතාවක් අතරතුර පොලිසිය තමන්ට පහරදුන් බවට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන ලෙස කොළඹ දිසා අපරාධ කොට්ඨාසය (CCD) මඟින් ද උන්වහන්සේ වෙත නොතීසි නිකුත් කර තිබිණි



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස