රුපියල ශක්තිමත් වන්නේ ණය ගෙවීම පැහැර හැරි නිසයි..! – මහාචාර්ය වසන්ත අතුකෝරළ…

May 27, 2023 at 9:12 am | by emanisa.lk

විදේශ ණය ගෙවීම පැහැර හැරීම හේතුවෙන් රටින් පිටට යන ඩොලර් ප්‍රමාණය අඩුවීමෙන් රුපියල ශක්තිමත් වෙමින් පවතින නමුත් එය තාවකාලික එකක් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසයි.

ඉකුත් අප්‍රේල් මාසය අවසන් වන විට ශ්‍රී ලංකාව විසින් ගෙවීම පැහැර හරිනු ලැබ ඇති ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 4.5ක් (රුපියල් කෝටි එක්ලක්ෂ පනස් දහසක්) බවත් මෙම ණය ගෙවීම පැහැර හැරීමෙන් පසු විදේශ රටවලට ශ්‍රී ලංකාවෙන් ගලා ගිය මුදල් රටේ ඉතිරිවීම හේතුවෙන් රුපියල ශක්තිමත් වෙමින් පවතින බවත් හෙතෙම පෙන්වා දුන්නේ ය.

කෙසේ වෙතත් එය ස්ථාවර තත්ත්වයක් ලෙස හුවා දැක්වීම පිළිගත නොහැකි යැයි ද මහාචාර්යවරයා කියා සිටියේ ය. මේ වන විට රටින් පිටට ඩොලර් ඇදී යන්නේ ගල්අඟුරු, තෙල්, ගෑස්, කිරිපිටි හා ඖෂධ වැනි දේට පමණක් බවත්, ඒ සඳහා වැය කර ඇත්තේ ඩොලර් බිලියන 4.2ක් පමණක් බවත් හෙතෙම පෙන්වා දෙයි.

මෙය සැබෑ හා ස්ථාවර තත්ත්වයක් වීමට නම් රට තුළ සිදුවිය යුත්තේ මහ බැංකුව සතු සංචිත වැඩිකර ගැනීම යැයි ද ඔහු සඳහන් කළේ ය.

රට සතු විදේශ සංචිත ප්‍රමාණය, ණය ගෙවීම පැහැර හැර ඇති ප්‍රමාණය අභිභවා යන ප්‍රමාණයක් දක්වා වැඩි වූ විට රට බංකොලොත් භාවයෙන් මිදෙනු ඇතැයි ද මහාචාර්ය වසන්ත අතුකෝරළ තව දුරටත් පෙන්වා දුන්නේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස