රිලවුන් චීනයට පැටවීම නවතී…!

June 26, 2023 at 5:23 pm | by emanisa.lk

මෙරට රිලවුන් චීනයට අපනයනය කිරීමක් නොකරන බව වනජීවී දෙපාර්තමේන්තුව අද (26) අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දුන්නේය.

මෙරට රිලවුන් ලක්ෂයක් චීනයට අපනයනය කිරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර ක්‍රියාකාරීන් පිරිසක් ගොනුකරන ලද රිට් පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේදී වනජීවී දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මනෝහර ජයසිංහ මෙම දැනුම්දීම සිදුකළේය.

ශ්‍රී ලංකා වන සත්ව හා පරිසර ආරක්ෂක සංගමය ඇතුළු පාර්ශවකරුවන් 27 දෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන විනිසුරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකෙරුණි.

මෙහිදී විනිසුරු මඩුල්ල රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාට දන්වා සිටියේ මෙම ප්‍රතිඥාව ලිඛිතව පෙත්සම්කාර පාර්ශ්වයට ලබා දෙන ලෙසය.

ඊට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එකඟතාව පලකළ අතර අනතුරුව පෙත්සම යළි ජුලි මස 06 වනදා කැඳවන ලෙසත් නියෝග කෙරුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *