රිජ්වේ රෝහලේ මිය ගිය දරුවාගේ නීරෝගී වකුගඩුව අතුරුදන්..!

November 9, 2023 at 12:04 pm | by emanisa.lk

වකුගඩු රෝගී තත්ත්වයක් හේතුවෙන් බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය තෙහැවිරිදි දරුවාගේ නීරෝගී වකුගඩුව අතුරුදන්ව ඇතැයි අනාවරණය වෙයි.

එම දරුවාගේ වම්පස වකුගඩුව තම අංශය භාරයේ සුරක්ෂිතව ඇති අතර දකුණු වකුගඩුව තම අංශයට නොලැබුණු බව එම රෝහලේ වකුගඩු අංශය භාර විශේෂඥ වෛද්‍ය ශාන්තිනී ගුණරත්න කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (08) පැවසුවා ය.

එම දරුවාගේ මරණයට අදාළ සාක්ෂි විමසීම ඊයේ අධිකරණය හමුවේ පැවති අතර එහිදී බොරැල්ල පොලිසිය විමසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් විශේෂඥ වෛද්‍යවරිය මේ බව ප්‍රකාශ කළාෙය.

තම අංශය වෙත එවන ලද එම දරුවාගේ වම්පස වකුගඩුව ඇමෝනියා වතුරේ ගිල්වා තම අංශයේ සුරක්ෂිතව මේ වන විට තබා ඇති බව ද සාක්ෂි දෙමින් ඇය වැඩිදුරටත් පැවසුවා ය.

රෝහලට ඇතුළත් කරන ලද අවස්ථාවේ එම දරුවාගේ දකුණු වකුගඩුව කිසිදු අසමානතාවකින් තොරව නියමිත ස්ථානයේ තිබූ බව දරුවාගේ රෝග තත්ත්වය සම්බන්ධයෙන් කළ වෛද්‍ය පරීක්ෂණවලදී හෙළිවී ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය මලිත් සමරසිංහ මීට පෙර සාක්ෂි දෙමින් අධිකරණය හමුවේ පවසා තිබිණි.

දරුවාගේ වම් වකුගඩුවේ ක්‍රියාකාරිත්වය සියයට නවයක් ලෙසත්, දකුණු වකුගඩුවේ ක්‍රියාකාරීත්වය සියයට අනූ එකක් ලෙසත් ක්‍රියාත්මකව තිබූ බව ද රෝහල් අධ්‍යක්ෂවරයා සිය සාක්ෂිය මගින් වැඩිදුරටත් පවසා තිබිණි.

ශල්‍යකර්මයේදී සිදුවූ අත්වැරදීමක් හේතුවෙන් දරුවාගේ එක් වකුගඩුවක් ඉවත්ව ඇති බවට රෝහල් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කරන නමුත්, එක් වකුගඩුවක් පමණක් තිබූ බවට අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වාර්තාවේ සඳහන්ව තිබීම අපැහැදිලි කාරණයක් බව ද අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි වෛද්‍යවරයෙකු මෙන් ම නීතිඥවරයෙකු වන වයි.එල්.එම්. යූසුප් මීට පෙර නඩු වාරයකදී අධිකරණය හමුවේ පවසා තිබිණි.

කොටහේන ප්‍රදේශයේ පදිංචි අම්දි ෆස්ලිම් නමැති තෙහැවිරිදි තම දරුවාගේ මරණය සැක සහිත බවට ඔහුගේ මවුපියන් බොරැල්ල පොලිසියට කළ පැමිණිල්ලක් අනුව මෙම නඩුව විභාගයට ගැනේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *