රාජිතට කිසිම ගැළවීමක් නෑ….. ධීවර වරාය බදුදීලා රජයට දැවැන්ත අලාභයක් කළා! සාක්ෂිකරුවන් 17ක් නඩු භාණ්ඩ 55ක්!

August 21, 2020 at 12:56 pm | by emanisa.lk

මෝදර ධීවර වරාය ඉතා අඩු මුදලකට පෞද්ගලික සමාගමකට බදු පදනම මත ලබාදීමෙන් රජයට අතිවිශාල පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න, වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ එම සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්‍යක්‍ෂ නීල් රවීන්ද්‍ර මුණසිංහ නමැති තිදෙනාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඊයේ (20) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කොට නඩු පවරනු ලැබීය.

නීති විරෝධී අර්ථලාභයක්, අනුග‍්‍රහයක් හෝ වාසියක් සිදු කිරීමේ චේතනාවෙන් රජයේ සේවකයකු එනම් ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිය ධූරය කෙළින්ම හෝ වක‍්‍රාකාරයෙන් පාවිච්චි කිරීම එනම් සී. ගල්ෆ් යූ. කේ. ප‍්‍රයිවට් ලිමිටඞ් වෙත මෝදර ධීවර වරාය අඩු මුදලකට බදු දීම සඳහා ලංකා ධීවර වරාය සංස්ථාවේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සාමාජිකයන් පෙළඹවීමේ චෝදනාව රාජිත සේනාරත්නට එරෙහිව නඟා තිබිණි.

2014 අගෝස්තු 01 වැනිදා සහ 2014 නොවැම්බර් 01 වැනිදා දක්වා කාලපරිච්ජේදය තුළදී රජයට පාඩුවක් සිදුවන බව දැනුවත්ව එකී වරාය බදු පදනම මත පෙරකී පෞද්ගලික සමාගමට ලබාදීමට වරාය අධ්‍යක්‍ෂ මණ්ඩලය පෙළඹවීම මගින් අල්ලස් හෝ දූෂණ විමර්ශන පනත යටතේ ගැනෙන වැරදි සිදු කළේ යැයි රාජිත සේනාරත්නට එරෙහිව චෝදනා නඟා ඇත.

ඒ සඳහා පළමුවන විත්තිකාර රාජිත සේනාරත්න මහතාට ආධාර අනුබල දීම මගින් අල්ලස් පනත යටතේ මෙන්ම ලංකා දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ ගැනෙන වැරදි සිදු කිරීම ඇතුළු අධිචෝදනා සෙසු විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නඟා තිබිණි.

විත්තිකරුවන්ට එරෙහිව නඟා ඇති එකී අධිචෝදනා සනාථ කිරීම සඳහා පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂිකරුවන් 17 දෙනකු හා නඩු භාණ්ඩ 55 ක් ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බවද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ කණිෂ්ක විජේරත්න සිය අධිචෝදනා පත‍්‍රය සමග ඉදිරිපත් කළ ලේඛන මගින් අධිකරණයට පෙන්වා දී තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස