රාජ්‍ය සේවය අකාර්යක්ෂම සේවකයින් වැඩි නිසයි..! කාර්යක්ෂම කරන්න ලක්ෂ 03ක් ඉවත් කළ යුතුයි..! – රාජ්‍ය පරිපාලන ලේකම්…

December 17, 2022 at 11:28 am | by emanisa.lk

ලක්ෂ පහළොවකට ආසන්නව සිටින රාජ්‍ය සේවකයන් ලක්ෂ දොළහක් දක්වා අඩු කරන්නේ නම් රාජ්‍ය සේවය ඉතාම පහසුවෙන් පවත්වා ගෙන යා හැකි බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ පවසයි.

මෙතෙක් කාලයක් රාජ්‍ය සේවය සඳහා බඳවා ගැනීම් සිදු කළේ පුරප්පාඩු තිබිය දී නොව රජයේ විවිධ ප්‍රතිපත්තිමය තීරණ හරහා බව ද ලේකම්වරයා අවධාරණය කළේය.

එමෙන්ම වසරකට රාජ්‍ය සේවකයන් විසිදහසක් පමණ විශ්‍රාම ගැනෙන අතර මෙතෙක් පැවැති එවැනිම ප්‍රමාණයක් නැවත රාජ්‍ය සේවය සඳහා බඳවා ගැනීමේ වැඩපිළිවෙළ වත්මන් රජය යටතේ සීමා කර ඇත්තේ රාජ්‍ය වියදම අඩු කර ගැනීමට ය.

මෙම වැඩපිළිවෙළ හරහා ඉදිරි වසර කිහිපය තුළ දී රාජ්‍ය සේවය ක්‍රමානුකූලව අඩු කර ගත හැකි බව ද ලේකම්වරයා පවසයි.

එපමණක් නොව වසර පහක කාලයක් සඳහා රාජ්‍ය සේවකයන් විදේශ රැකියාවලට යොමු කිරීම මගින්ද රාජ්‍ය සේවය ක්‍රමානුකූලව අඩු කර ගැනීමේ හැකියාවක් පවතින බවත් මෙම වැඩපිළිවෙළ හරහා කිසිදු රාජ්‍ය සේවකයකුට අසාධාරණයක් නොවන බවත් ලේකම්වරයා සඳහන් කළේය.

සියලුම රාජ්‍ය නිලධාරීන් වයස අවුරුදු හැට සම්පූර්ණ වූ විට අනිවාර්යයෙන්ම සේවයෙන් විශ්‍රාම ගතයුතු බවට වන ගැසට් පත්‍රය අගමැති දිනේෂ් ගුණවර්ධනගේ අත්සනින් යුතුව පසුගිය 05 වැනිදා නිකුත් කෙරිණි. ඒ අනුව වසර අවසානයේ රාජ්‍ය සේවකයින් 25 000ක් පමණ විශ්‍රාම යාමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *