රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනත විවිධ දේශපාලන වුවමනාවන් අනුව සංශෝධනය කිරීම වත්මන් ආර්ථික අර්බුදයට හේතුවී ඇති බවත් එහි වගකීම තමන් ඇතුළු ආණ්ඩුව භාරගත යුතු බවත් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.
“අනාගතයේදී මේ සඳහා කරන්න ඕනෙ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනත නැවත වතාවක් සක්‍රිය කරලා දේශපාලන පක්ෂ භේදයෙන් තොරව එකතුවෙලා ඒකට එකඟවෙන්න ඕනෙ. මම ඒ පිළිබඳව සඳහන් කළොත් මේ වැරැද්ද ලංකාවෙ හැමදාම දේශපාලනඥයින් හා පාර්ලිමේන්තුව කරනවා. ඒක කරන්න හොඳ නෑ.
මොකද හේතුව, ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 148 වගන්තියෙන් රාජ්‍ය මූල්‍ය පිළිබඳ බලය තියෙන්නෙ පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුව විසින් විවිධ දේශපාලන වුවමනාවන් අනුව මේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය කරන නිසා එය වෙනස් කරන්න වෙනම නීතියක් සම්මත කළා.
ඒක තමයි 2003 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනත. එහි තියෙන්නෙ කරුණු තුනක්. පළවෙනි කරුණ තමයි ලංකාවේ අයවැය ලේඛනයේ හිඟය දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 5% ට වඩා අඩුකිරීම. දෙක, 2013 වනවිට ජාතියේ ණයබරතාවය 60% ට අඩුකිරීම. තුන, රජය විසින් ණය වනවිට ඇපවීමේ සීමාව 4.5% ට අඩුකරන එක.
අපි මොකද කළේ ඒකට ? එහෙම කළා නම් අද මේ අර්බුදය කිසි එකක් ඇතිවෙන්නෙ නෑ. මේකට මේ සරල උත්තර නෑ, මේකට ලෝකෙ තියෙන්නෙ න්‍යායාත්මක උත්තරයක්. ඒ උත්තරය තමයි පාර්ලිමේන්තුව නීතියක් හැටියට සම්මත කරලා තියෙන්නෙ.
ඒත් ඊට පස්සෙ අපි කළ සංශෝධනවලින් අද වෙනකොට 4.5% ට ඇප වෙන්න ඕනෙ එක 15% දක්වා විටින් විට වැඩිකරගෙන තියෙනවා. ඊට පස්සෙ අපි මේ 60% ට ණයබර අඩුකරනවා කියපු එක 80% ට සංශෝධනය කරලා, 80% ට කරන්නෙ 2030 වෙනකල් කියලා සංශෝධනය කරගෙන තියෙනවා. අපිමයි කරන් තියෙන්නෙ. ඉතින් ඒක නිසා කොච්චර කතා කළත් ආපහු කැරකිලා එන්නෙ එතෙන්ටමයි. ගියවර IMF එකට යනකොටත් මේකම තමයි ඇතිකරගත්ත කොන්දේසිය.
නමුත් අර නීතිය වෙනස්වෙලා තියෙනවා, කවදාකවත් මේ ඇත්ත ගැන කතා කරන්නෙ නෑ. මේක සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ. මේකට පනතක් ගෙනල්ලා වගකීම පාර්ලිමේන්තුවට පවරලා තියෙනවා. ඒ පනත වැරදි විදියට සංශෝධනය කරලා තියෙනවා නිලධාරීන් හා වෙනත් දේශපාලන වුවමනා එපාකම් අනුව. ඒක නිසා ඒ වැරැද්ද අපි නිවැරදි කරගන්න ඕනෙ. වැරැද්දක් වුණා කියලා අපි පාර්ලිමේන්තුව පිළිගන්න ඕනෙ”
අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව පැවසුවේ ඊයේ (16) දෙරණ රූපවාහිනී නාලිකාවේ පැවති දේශපාලන සංවාදයකට එක්වෙමිනි.
එසේ ම රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනතට සංශෝධන තුනක් ගෙන ආ බවත් ඒ සංශෝධන තුන ම ගෙන ආවේ පසුගිය රාජපක්ෂ ආණ්ඩුව යටතේ පී.බී. ජයසුන්දර විසින් බවත් බන්දුල ගුණවර්ධන එහි දී පිළිගත්තේය.