රාජ්‍ය ආදායමින් 50%ක් හොරකම් කරනවා! මන්ත්‍රීලා විමධ්‍යගත අරමුදලින් වංගෙඩි ටකරං බෙදනවා! මහ ඇමතිලා ඡන්දේ කාලෙට බඩු බෙදනවා!

February 2, 2019 at 2:14 am | by admin

රටේ මූල්‍ය විනය සම්බන්ධයෙන් නිවැරැදි නීති රාමුවක් නොතිබීම හේතුවෙන් වාර්ෂිකව රාජ්‍ය ආදායමින් සියයට 50ක් අහිමි වී යන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

මේ රට ගොඩනඟන්න නොහැකි ප්‍රධානතම ප්‍රශ්නය දූෂණය, නාස්තිය, වංචාව, සොරකම බව පෙන්වා දෙන ඒ මහතා ඒ හේතුවෙන් රට ගොඩනැඟිය නොහැකි බව ද එම ආදායමට සිදුවන්නේ කුමක් ද එය සිදුකරන්නේ කුමන ආයතන ද යන්න සියලු දෙනා දන්නා බව ද පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ රාජගිරියේ පිහිටි මුදල් කොමිෂන් සභාවේ නව කාර්යාල ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

එහි දී වැඩි දුරටත් අදහස් පළ කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ලබාදෙන විමධ්‍යගත අරමුදල් වැඩි ප්‍රමාණයක් වැය කරනු ලබන්නේ චක්‍රලේඛයේ සඳහන් කරුණුවලට නොවන බවත් වියදම් සිදුකළ යුත්තේ කුමකට ද යන්න චක්‍රලේඛයේ සඳහන් කර තිබේ. එහෙයින් වංගෙඩි, මෝල්ගස්, ටකරන්, ප්ලාස්ටික් පුටු, සෙල්ලම් බඩු බෙදන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විමධ්‍යගත අරමුදල්වලින් නොහැකිය.

පළාත් සභාවල මහ ඇමැතිවරු, ඇමැතිවරු සඳහා අවුරුද්දේ දෙන බඩු බාහිරාදිය සියල්ල ගබඩාවල එකතු කොට ඡන්ද කාලයේ දී බෙදාහරින තත්ත්වයක් තිබෙන බව ද සඳහන් කළ මෛත්‍රීපාල සිරිසේන මහතා මේ රටේ මූල්‍ය කළමනාකරණයට, මූල්‍ය විනයට හරිහැටි නීතියක් ක්‍රියාත්මක වන්නේ කොහේ දැයි ප්‍රශ්න කරන බව ද මෙවැනි තත්ත්වක් තුළ රට හැදෙන්නේ කෙසේ දැයි සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *