ඉදිරි මහ මැතිවරණයේ දී හිටපු ජනාධිපතිවරුන් හතර දෙනකු ඇතුළු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් රැසක් තරඟ නොකිරීමට තීරණය කර ඇත.
ඒ අනුව මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් මැතිවරණයට තරග නොකරන බව ප්‍රකාශ කර තිබේ.
හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ද පැවැසුවේ තමා ඉදිරි මහ මැතිවරණයට තරග නොකරන බවය. හිටපු විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා ද දේශපාලනයෙන් ඉවත්ව යළි නීතිඥ වෘත්තිය සඳහා එක්වන බව සඳහන් කරයි.
පසුගිය ජනාධිපතිවරණයට තරඟ කළ හිටපු අධිකරණ, නීති ප්‍රතිසංස්කරණ හා බන්ධනාගාර පුනරුත්ථාපන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ද මහ මැතිවරණයට තරග නොකිරීමට තීරණය කර ඇත. හිටපු ජනමාධ්‍ය අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා මහ මැතිවරණය පමණක් නොව, සමස්ත දේශපාලනයෙන්ම සමුගැනීමට සූදානම් වේ.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද මෙවර මැතිවරණයට ඉදිරපිත් නොවන බව සඳහන් කරයි. එසේම ප්‍රධාන පක්ෂවල ජාතික ලැයිස්තුවෙන් පත්වූ මන්ත්‍රීවරුන් රැසකට ද මෙවර මන්ත්‍රීධුර නොලැබෙන බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
– දිවයින